• Happiness

  • Love

  • Memories

  • Spectrum

  • Eternal Symphony

  • Colors

Recent Articles

Monday, March 13, 2017

"ඇගේ පෙම්වතා"



එයා මට කියපු හැම කතාවක ම හිටියේ, පිළිවෙළට ඇඳපු, බොහොම වැදගත් විදියට භාෂාව හසුරවපු, එයාගෙ වචන වලින් ම කියනවා නම් හරිම "නයිස්" පෙම්වතෙක්. කෝපි හලක මුල්ලක තියෙන මේසෙක දෙකෙළවරේ පුටු දෙකක වාඩි වෙලා, උඩට ලස්සන සුදු පාට පෙණ තියෙන, දුම් දමනකපුචිනෝ කෝප්ප දෙකක් විතරක් අපි අතරේ තියාගෙන ගත කරපු හැම හවසක ම, මම උත්සාහ කරේ ඇය කියපු කතා වල හිටිය පෙම්වතාගේ රූපයක් මනසින් ගොඩනගා ගන්න උත්සාහ කරපු එක. ඒත් ඇගේ කතාව ඉවර වෙලා, කපුචිනෝ කෝප්පෙ පෙණ විතරක් යන්තම් පතුළේ ඉතිරි වෙනකන් ම මට සාර්ථක රූපයක් ගොඩනගා ගන්න කවදාවත් පුළුවන් වුණේ නැහැ.

ඇය මුලින් ම කැමති වෙන්න ඇත්තේ, ඔහුගේ නිර්මාණාත්මක කථන හැකියාවට වෙන්න ඇති කියන එක මගේ හිතට ඇතුළු වුණේ, ඇය මට කියු එක කථාවක නිර්මාණාත්මක කතා තරඟයක් තිබුණු නිසා. ඒ තරඟෙ දි ඔහුගේ කළ කතාව මගේ ඉස්සරහ රඟ දක්වලා පෙන්වන්න ඈට තිබුණු උනන්දුවත්, ඒ කතාවේ උපමා, රූපක ඉඳන් අකුරක් නෑර ඇගේ මතකයේ තිබීමත්, ඒ මොහොතේ දී ඇගේ ඇස් වල තිබුණු දීප්තියත් නිහඬව මට කිව්වේ ඊටත් වඩා ලොකු කතාවක්. ඇගේ කතා අහගෙන ඉන්න මමත්, ඈ ඉදිරිපිට බොහොම ලස්සන කතා කියපු ඇගේ පෙම්වතාත් අයිති වෙන්නෙ වෙනම ලෝක දෙකකට ද, එහෙමත් නැත්නම් එකම ලෝකෙ දෙකෙලවරකට ද කියන දේ මට තවමත් හිතා ගන්න බැරි දෙයක්. 


එක සීනි හැන්දක් දාපු කපුචිනෝ කොප්පෙන් පිට වෙන දුම ටිකෙන් ටික අඩු වෙලා, කෝපි සීතල වෙනකන්, ඇගේ කැරලි ගැහුණු කොණ්ඩෙ දිහා බලාගෙන, ඇගේ කතා වලට ඇහුම් කන් දීම හැර වෙන කිසිම දෙයක් කරන්න මට කවදාවත් ඕන වුණේ නැහැ. මගේ උරහිස ළඟට වෙනකන් වැවුනු කොණ්ඩ‍යත්, හැමදාම ඇඳපු කලු පාට මෙටල් රොක් කොලර් ලස් ටී ශර්ටුත්, ඉතාලි උරුවකින් යුත් ඉoග්‍රීසි භාෂාවත් එක්ක මට කවදාවත් ඈට කතා කියන්න පුලුවන් වෙන්නෙ නෑ කියන දේ මගේ හිතේ කොනක හැම වෙලේම තිබුණා. මගේ යුරෝපිය බොහීමියානු ජීවිතයේ යම් යම් කොටස් කතන්දර බවට හරවලා ඇයට කියන්න ඕන බව හිතුනත් මම දක්ෂ වුණේ ඒ කතා මනසින් ගොඩනගන්න මිසක් ඇය ඉදිරිපිට කියන්න නොවෙයි. 


ආයෙමත් කිසිම දවසක වෙන කෙනෙකුට ආදරය කරන්න ඉඩක් නැති තරමට ඔහු ඇගේ ආත්මයට ඇතුළ් වෙලා ඉන්න බව ඈ මට කිව්වේ, ඔහු තමන්ගේ කතා අහන්න වෙනත් අසන්නියක් හොයාගෙන සති කීපෙකෙට පස්සේ කඳුළු පුරවගත්ත ඇස් වලින්. වචන වලින් කතා කරන භාෂාවල් ගැන මගේ තිබුණු විශ්වාසය බිඳිලා ගිහිල්ලා ඒ වෙනකොට බොහොම ලොකු කාලයක් ගත වෙලා තිබුණත්, ඒක ඇයට තේරුම් කරන විදියක් මම දැනගෙන හිටියේ නැහැ. ඒක නිසා මට කරන්න පුලුවන් වුණේ වෙනදා පෙම්වතා ගෙ කතා මට කියද්දි දිලිසුණ ඇගේ ඇසුත්, මෙදා ඒ කතා නැතුව ගොළු වුණ ඇගේ ඇසුත් අතරෙ වෙනස ගැන හිතන්න විතරයි. 

Monday, October 17, 2016

ලැවැන්ඩර්


ඇමරිකානු ජාතික චිත්‍රශිල්පියෙක් වෙච්ච, "ජැක්සන් පොලොක්"ගේ, "අoක එක, 1950 (ලැවැන්ඩර් මීදුම)" කියන චිත්‍රය ගැන මට දැනගන්න ලැබුනේ මීට අවුරුදු කිහිපෙකට කලින්. "වියුක්ති සoකල්ප ප්‍රකාශනවාදයේ" පුරෝගාමියෙකු වෙච්ච ජැක්සන් පොලොක්, කැන්වස් රෙද්දක් උඩට තීන්ත බින්දු සිය දහස් ගණනක් විසුරවලා (ඩ්‍රිපින් ටෙක්නික්) නිර්මාණය කරපු ඒ චිත්‍රයට මම ආසා කරන්න ගත්තේ ඒකෙන් කියවෙන අන්තර්ගත අදහස් ගැන කිසිම අදහසක් නැතුවයි. සිය දහස් ගණනක් තීන්ත බින්දු එකිනකට එකක් යා කරලා තමන්ට ඕනම කරන රූපයක් හදාගන්න පුලුවන් කියන සිතුවිල්ල හිතට ආවත්, චිත්‍රයට "ලැවැන්ඩර් මීදුම" කියන නම ගැලපෙන විදිය ගැන නම් කිසිම දෙයක් මට හිතාගන්න පුලුවන් වුනේ නැහැ. 



"ලැවැන්ඩර්" කියන්නේ දම් පාට, එක පොකුර්ට පිපෙන පුන්චි මල් වර්ගයක් බවත්, ඒ මල් වල මිනිස්සුන්ගෙ හැඟීම් අවුස්සන්න පුලුවන් මහා අමුතු සුවඳක් තියෙන බවත් මම දැනගත්තේ ඊට ටික කාලෙකට පස්සේ, ඉතාලියේ ෆිරෙන්සේ නගරෙ පටු වීදියක එළිමහනේ ඉඳගෙන "අමාලියා" එක්ක කෝපි බීපු හවසක. සර්දිනියා දූපතේ ඉපදිච්ච ඉතාලි කෙල්ලෙක් වෙච්ච අමාලියා, එයාගෙ කැමති ම තොල් සායම් වර්ණය "ලැවැන්ඩර්" බවත්, හැමදාම එයාගෙ නාන බේසමට ලැවැන්ඩර් තෙල් බින්දු කිහිපයක් එකතු කරන බවත් කිව්වේ ලැවැන්ඩර් ගැන මම කිසිම දෙයක් නොදැන හිටපු එක ගැන පුදුම වෙමින්. මමත් ලැවැන්ඩර් තෙල් එකක් අරගෙන නාන බේසමට බින්දු කිහිපයක් දාන්න ඕන කියලා හිතුවත් ඒක ගන්න සල්ලි හොයාගන්න මට මාස කිහිපයක් ගත කරන්න වුනා. මීට අවුරුදු දෙදාහකට කලින් රෝමාන්කාරයොන්ගෙ කාලෙ, ලැවැන්ඩර් මල් පවුමක මිල සාමාන්‍ය සේවකයෙක්ගෙ මාසෙක පඩියට සමානයි කියලා ඒ වෙනකොට "නැෂනල් ජෝග්‍රැෆික්" සඟරාවෙ කොහේදෝ තිබිලා කියවලා තිබුණු නිසා ඒ ගැන මට ඇති වුනේ දුකක් නෙවෙයි, පුදුමයක් විතරයි. 



ලැවැන්ඩර් සුවඳට කොච්චර ආසා කරත්, ලැවැන්ඩර් මලක් ඇත්තටම දැකලා සුවඳ බලලා නැති එක ගොඩාක් ලොකු හිඩැසක් කියලා මට දැනුනේ ලෝකෙ ප්‍රසිද්දම ලැවැන්ඩර් මල් යාය තියෙන ප්‍රoශයේ "ප්‍රොවෙන්ස්" පළාත ගැන ලිපියක් සoචාරක කොළමක කියෙව්වාට පස්සේ.  ඒ හිඩැස පුරවාගන්න, ප්‍රoශයේ Aix-en-Provence පළාත ලැවැන්ඩර් මල් වලින් වැහිලා ගියපු එක්තරා ජූලි මාසෙක, අනන්තයට යනකන්ම දම් පාට ලැවැන්ඩර් මල් වලින් වැහිලා තිබ්බ මල් යායක් මැද්දෙන්, බයිසිකලයක් පැදගෙන, තැනින් තැන නවත්තලා, මල් වල සුවඳ බල බලා සති අන්තයක් ම ගත කරන්න මට සිද්ද වුණා. ඒ ළඟ ම තිබ්බ Sault ගමේ හැම අගෝස්තු මාසෙකම පැවැත්වෙන "ලැවැන්ඩර් උත්සවේට" යන්න ඕනා කියලා එදා මම හිතේ කොනක ලියාගත්තත් තාම ඒක කරගන්න මට පුලුවන් වුනේ නැහැ. 



එයා පාවිච්චි කරන්නෙත් ලැවැන්ඩර් පර්ෆියුම් එකක් නේද කියලා මම එයාගෙන් ඇහුවේ එක වචනයක් වත් කතා නොකර එයා දිහා පැය දෙකක් බලාගෙන හිටියාට පස්සේ. එයාත් එක්ක ලැවැන්ඩර් ඔයිල් බින්දු කිහිපයක් දාපු උණුවතුර බේසමක බැහැලා ඉන්නත්, එයාගෙ කැරලි කොණ්ඩෙ ලැවැන්ඩර් මල් පොකුරක් ගහලා Aix-en-Provence මල් යායේ ඈතට, ඈතට ඇවිදගෙන යන්නත් ආසාවක් ඇති වුනේ ඒත් එක්කම ද, නැත්නම් ඊට තත්පර කිහිපෙකට කලින් ද කියලා මට හරියටම මතක නැහැ. කවදා හරි දවසක, අපි දෙන්නා ලෝකෙ කෙලවරවල් දෙකක හිටියාත් ලැවැන්ඩර් සුවඳ දිගේ ඇවිදගෙන ආවොත් එයාව හොයාගන්න පුලුවන් බව එයාගෙ ඇස් ඒ වෙලාවෙ මට කිව්වා. 

Monday, September 26, 2016

කොණ්ඩා කැරලි


තාත්තාට තිබ්බෙ ලස්සන කැරලි ගැහිච්ච කොන්ඩයක් කියලා මම දැන ගත්තේ අම්මා කියපු කතා වලිනුයි, ෆොටෝ වලිනුයි විතරයි. මුහුණ පුරාම රැවුලක් වවාගත්තු, කැරලි කොණ්ඩයක් තියෙන මනුස්සයෙක් ගලක් උඩ වාඩි වෙලා, මාස පහක හයක බබෙක් වඩාගෙන ඉන්න ෆොටෝ එකක් දිහා, හැම හවසකම ම වගේ බලාගෙන ඉන්න මම පුරුදු වෙලා හිටියා. මොකක් දෝ කියන්න දන්නෙ නැති හේතුවකට ඒ කැරලි කොණ්ඩෙයි, මම යි අතරේ මහ අරුම පුදුම බැඳීමක් ඇති වෙන්න ඇත්තෙ අන්න ඒ එක්තරා හවසක කියලායි මට හිතෙන්නෙ. කවදා හරි දවසක තාත්තා හම්බ වෙලා කොණ්ඩෙ අල්ලලා බලන්න ඕන කියන සිතුවිල්ල මගේ හිතේ කොහේ හරි අස්සක කාලයක් තිස්සේ තිබුණා. ඒත් අවුරුදු ගාණකට පස්සේ තාත්තා ව ඇත්තටම මුණගැහෙන කොට එයාට කැරලි කොණ්ඩයක් තිබ්බේ නැහැ. අපිව වෙන්කරපු අවුරුදු ගාණක කාලයට, තාත්තාගෙ කොණ්ඩ කැරලි දිගහරින්නත්, කලු පාට, අළු පාටට හරවන්නත් පුලුවන් වෙලා තිබුණා



උතුරු ඉතාලියේ, මිලානෝවේ, "රිස්තොරන්තේ දි රොමෝලෝ" කෝපි හලට හැම සවසකම නොවරදවා ම ආපු එක සිඤ්ඤෝරා කෙනෙක් හිටියා. එයා හැමදාම ඇවිල්ලා වාඩි වෙන්නෙ වීදුරු ජනේලයක් ළඟ තිබුණු එක මේසෙක. එතන වාඩි වෙලා එදා දවසෙ "කොරේරෙ දෙල්ලා සේරා" පත්තරේ කියවන ගමන් දුම් දාන "කපුචිනෝ" එකක් බොන එක එයාගෙ දවසෙ අනිවාර්ය අoගයක් වෙලා තිබුණා. වයස අවුරුදු හතලිහක් විතර වුණු, තරමක් සිහින් සිරුරක් එක්ක, මුහුණට වඩා ගොඩාක් විශාල කැරලි කොණ්ඩයක් තිබුණු එයා දිහා හැමදාම මo බැලුවෙ හොරාට හොරාට, කෝපි හලේ පොළොව පිහිදන ගමන්. ඒ සිඤ්ඤෝරාගෙ නිදහසට බාධාවක් වෙයි කියන බයෙන් ද, එහෙමත් නැත්නම් "කාප්පො" ගෙන් හරියට වැඩ කරන්නෙ නෑ කියල බැනුම් අහන්න වෙයි කියන බයෙන් ද කියලා මට හරියට හිතාගන්න අමාරුයි. හැමදාම හවස පහේ ඉඳන් මම මග බලාගෙන හිටියෙ එයාගෙ කැරලි කොණ්ඩෙ කදින්න. ඒත් එක ම එක දවසක් වත් එයත් එක්ක වචනයක් වත් කතා කරන්න, අඩුම ගානේ "බොනසේරා!" කියලා ආචාර කරන්නවත් මට හිතුනේ නැහැ. මට ඕන වුනේ ඈතින් ඉඳලා ඒ කොණ්ඩෙ දිහා බලන් ඉන්න විතරමයි. 



කොණ්ඩ කැරලි ඈතට කොච්චර ලස්සනට පෙනුනත්, අපිව පිස්සු වැට්ටුවත්, ඇත්තට ම ඒවා අතින් ඇල්ලුවා ම කැරලි දිග හැරෙන බව මම දැනගත්තෙ, "නීනා" එක්ක බර්ලින් නගරෙ, "ස්ටග්" වතුරමල ළඟ බිම හාන්සිවෙලා, හවානා සුරුට්ටු දුමෙන් පෙනහලු පුරවගෙන, එයාගෙ ලස්සන කලු කැරලි කොණ්ඩෙ අල්ලපු වෙලාවෙ. කිසිම වචනයක් කතා නොකර, සුරුට්ටු පත්තු කරගන්න විතරක් ඉරියව් වෙනස් කරමින්, එයාගෙ කොණ්ඩ කැරලි අල්ලන ගමන්, වතුරමලේ හතර අතට විසිවෙන වතුර දිහා බලාගෙන මම උත්සාහ කරේ නීනාගෙ තද කලු දිග කොලොම්බියානු කැරලි කොණ්ඩෙයි, මිලානෝවේ නම නොදන්නා සිඤ්ඤෝරාගේ තද දුඹුරු, තරමක් දිග, ඉතාලි කැරලි කොණ්ඩෙයි, පොඩි කාලේ ෆොටෝ එකෙන් දැකපු තාත්තාගේ ලාoකික කෙටි කොණ්ඩෙයි එකකට එකක් සසඳන එක. මම එයාගෙ කොණ්ඩෙ මම දකින විශේෂත්වෙ මොකක් ද කියන එක මොනයම්ම විදියකට වත් එයාට හිතාගන්න බැරි බව නීනා මට කිව්වේ සීත සෘතුවෙ අග ඉඳපු මුලු බර්ලින් නගරෙ ම බ්ලැන්කට් අස්සෙ ගුලි වෙලා හිටපු එක්තරා උදෑසනක මගේ ඇස් දිහා බලාගෙන. ඊට හරියටම සතියකට පස්සෙ අපි දෙන්නා අහස්යාත්‍රා දෙකකට නැගලා ලෝකෙ කෙලවරවල් දෙකකට පියාඹලා ගියේ වසන්ත කාලෙට බර්ලින් නගරෙ පිපෙන මල්වල රේණු සුළඟට ගසාගෙන ඇවිල්ලා නීනාගෙ කොණ්ඩෙ ඇලෙයි කියන බය නිසා. 



මගේ කොණ්ඩෙ ගොඩාක් කැරලිත් නැති, ඒත් කෙලිනුත් නැති අතරමැදි එකක් වුනේ අම්මාට කෙලින් කොණ්ඩෙකුයි, තාත්තාට කැරලි කොණ්ඩෙකුයි තිබ්බ නිසා වෙන්න ඇති කියලා මට හිතුනේ විශ්ව විද්යාලෙ එක්තරා රැස්වීමක පිටිපස්සෙ පේලියක ඉඳලා රැස්වීමෙ හිටපු කොණ්ඩෙ කැරලි තියෙන නමක් දන්නෙ නැති ගැහැණු ළමයෙක් දිහා බලාගෙන ඉන්න කොට. එයාගෙ උඩට බැඳලා තිබ්බ කැරලි කොණ්ඩෙ එක සිය එක් වෙනි පාරටත් හිතින් ලෙහලා බලලා, මo මගේ හිතට කියලා දෙන්න උත්සහ කරේ එක ම එක දෙයයි, "කොණ්ඩ කැරලි කියන්නෙ ඈතින් ඉඳන් බලලා සතුටු වෙන්න ඕන දෙයක්."

Wednesday, January 27, 2016

ඇස්


ඇස් වලට කතා කරන්න පුලුවන් කියලා මo කලින් ඉඳලා ම දැනගෙන හිටියත් ඇස් වලට හිතන්න, ජීවත් වෙන්න වගේම, කෙනෙක් ව ජීවත් කරවන්නත් පුලුවන් කියලා මට කියලා දුන්නේ එයා, හැබැයි ඒත් කටින් වචනයක් වත් කතා නොකර, ඇස් වලින් මයි. ඇස් වලින් කතා කරන භාෂාව ඉගෙන ගත්තාට පස්සෙ දෙවියන් වහන්සේ මිනිස්සුන්ට කට කුයි, ස්වාරලයකුයි මවලා, කතා කරන්න භාෂාවල් මැව්වේ ඇයි ද කියලා හිතාගන්න මට ගොඩාක් අමාරු වුනා. 


මම උදේ ඇහැරිච්ච ගමන් ම ඇස් දෙක වහගෙන එයාගෙ ඇස් දෙක මතක් කරගන්න උත්සාහ කරනවා. ඒත් මට එක එක දවසට මැවෙන්නෙ එක එක විදියෙ ඇස්. ඒ කියන්නෙ එක දවසකට සිහින් දිගැටි විදියටත්, තව දවසකට රවුම්, ලොකු විදියටත් මට මැවෙනවා.  මොන තරම් වෙලා එයාගෙ ඇස් දිහා බලාගෙන හිටිය, අර කියන විදියට ගලේ කෙටුවා වගේ නිශ්චිත රූපයක් මට මැවෙන්නෙ නැත්තෙ ඇයි ද කියන එක මට තාමත් හිතාගන්න බැහැ. මම වාදකයෙක් නොවී සිත්තරෙක් වුනා නම් ඒ ඇස්, ලොකු කැන්වස් රෙද්දක කලු පාට තින්තෙන් ඇඳලා මගේ කාමරේ එල්ල ගන්න තිබුණා කියලා ඒ හැම වෙලාම මට හිතෙනවා.


එක වෙලාවකට ඒ ඇස් වල ආදරේ පිරිලා. තව වෙලාවකට දුකෙන් බර වෙලා. තරහවෙන් පුපුරන රතු පාටත් ඒ ඇස් වලට නො එනවා ම නෙවෙයි. ඒත් ඒ ටික වෙලාවකට විතරයි. අපි දෙන්නා අතරේ හැම දෙයක් ම හුවමාරු වෙන්නෙ ඇස් වලින් විතරයි කියන එක, මොන තරම් වාරයක් මගේ හිතට කියලා දෙන්න උත්සාහ කරත් ඒක හිත පිලිගන්නෙ නැති එක මට ලොකු ප්‍රශ්නයක්. සමහර විට මේ ලෝකෙ මිනිස්සු කතා කරන්නෙ ඇස් වලින් නෙවෙයි, කටින් කියන එක මගේ හිතට අමතක වෙලා වෙන්න ඇති. 

ජර්මන් කෙල්ලොන්ගේ ඇස් නිල් පාට බවත්, ඉතාලි කෙල්ලොන්ගෙ ඇස් කලු පාටට හුරු දුඹුරු පාට බවත් දැනගන්න වෙහෙසකර, දිගු රාත්‍රීන් ගණනාවක් ම ගත කරන්න සිද්ද වුනත්, එයාගෙ ඇස් වල තියෙන නිල්, කලු, දුඹුරු පාටවල් වල මිශ්‍රණයෙන් ඒ පාට වල් වෙන් කරගන්න මට තත්පර කිහිපයකින් පුලුවන් වුණා. ලැබ් එකක් ඇතුලෙ ඩීඑන් ඒ ටෙස්ට් එකක් කරලා හොයාගන්න ඕන හැම දෙයක් ම ඇස් දෙකක් දිහා බලලා දැනගන්න පුලුවන් කියලා හොයාගත්ත ලෝකෙ පලවෙනි කෙනා මම වෙන්න ඕන කියලා එයාගෙ ඇස් මට කිව්වේ අමුතුම ආඩම්බරයක් පුරවාගෙන මගේ පපුව උඩ ඔලුව තියන් හිටපු වෙලාවක.


හවානා සුරුට්ටුවක් පත්තු කරලා, දුම් උගුරකින් පෙනහලු පුරවගෙන, මo වටේ තියෙන හැම දෙයක් ම ටිකෙන් ටික උඩට ගිහිල්ලා, මo වටේ කැරකෙනවා වගේ දැනෙද්දි, දුම් සැරට කඳුලු වලින් ඇස් බාගෙට බොඳ වෙලා තියෙද්දි, එයාගෙ ඇස් මොනවාද කියන්නෙ කියලා බලන් ඉන්න මගේ තියෙන ආශාව කවදා ද ඉවර වෙන්නෙ කියන එක මට කොච්චර හිතුවත් හිතාගන්න බැරි දෙයක්.

එකිනෙකාගේ ඇස් දිහා නිරුවත් ව බලාගෙන හිඳිමින් කරන යෝග ක්‍රමයක් තියෙන බව අපි දැනගත්තෙ, අපි ඒක කරන්න පටන් අරගෙන ශීත කාල දෙකකට විතර පස්සෙ. ඇත්තටම අපි කරමින් හිටිය දේට කියන නම හොයාගත්ත එක විතරයි එතන දි වුනේ. ඒ යෝග ක්‍රමය පාවිච්චි කරලා කන්‍යාවක් ගැබ් ගන්නවන්න පුලුවන් කියලා අපි දැනගත්තෙ ඊටත් පස්සෙ. රමණයේදි එක් වෙන්නෙ ශරීර දෙකක් විතරක් වුණාට ඇස් දිහා බලා හින්දීමෙන් සිද්ද වෙන්නෙ ආත්ම දෙකක් එකට එකතු වෙලා බාහිර හැමදේකින් ම වෙන් වෙච්ච අමුතුම ලෝකෙකට යෑමක් නිසා ඒක වෙන්න බැරි දේකුත් නෙවෙයි කියලයි, මම නම් හිතන්නෙ. 

"පපුවෙ හිර වෙලා තියෙන, හිතේ හැoගිලා තියෙන, වචන වලට පෙරලගන්න බැරි හැඟීම් ඇස් තව කෙනෙක්ට කියන එකත් එක්තරා කලාවක්" එහෙම කිව්වේ මේ කතාව කියවපු "ඇගේ ඇස්."


Friday, December 4, 2015

බලා හිඳීම




මම බලන් ඉන්නවා. දුඹුරු පාට කඳන් තියෙන උස ගස් මුදුන් වලට එහායින් ඉර පායලා අවිල්ල හෙමීට හෙමීට තැනිතලාවෙ කෙලවරින් බැහැලා යනකන්, රොබින් කුරුල්ලො ජෝඩුවක් ගොඩාක් මහන්සි වෙලා පුන්චි කූඩුවක් හදලා, ඒකෙ බිත්තර දාලා පැටව් දාලා, චූටි චූටි කුරුලු පැටව් ඉපදිලා, උන්ගෙ පියාපත් හයිය වුනා ම පියාඹලා යනකන්, සරත් කාලෙ පටන් ගන්නකොට එක පාරට ම සැර වෙන ඩොනාවු ගඟ, සීත කාලෙදි මිදිලා, ආයෙම වසන්තෙ ආවම දිය වෙනකන්, මේපල් ගස් වල කොළ එකින් එක තැඹිලි පාටට හැරිලා, දුඹුරු පාට වෙලා වියානාවෙ වීදි පිරිලා යනකන්, හැමදාම රෑට මුලු ලෝකෙම නිදි අතරෙ කියුබාවෙන් ගෙන්නන සැර දුම්කොළ වැඩිපුර දාලා ඔතපු ෆිල්ටර් නැති සිගරට්ටුවක දුම ටිකෙන් ටික කටෙන් ඇතුල් වෙලා පෙනහලු  පිරිලා ගිහිල්ලා, වටේ තියෙන හැම දෙයක් ම ටිකෙන් ටික උඩට උඩට ගිහිල්ලා පාවෙනවා වගේ දැනෙනකන් මo බලන් ඉන්නවා. එහෙම ඉන්නෙ ඇයි ද කියලා අහන්න එපා. මo දන්නෙ නෑ. 



මගේ වටේ සිද්ද වෙන කිසිම දෙයක් එක්ක සෘජු සම්බන්ධයක් ඇති කරගන්නෙ නැතුව ඒ කිසිම දෙයක් එක්ක ඒකාත්මික වෙන්නෙ නැතුව තට්ට තනියම හැම හැඟීමක් ම මට විතරක් තියාගෙන මම හැම දෙයක් දිහා ම බලනවා. එකිනෙකට වෙනස් සිද්ධි අතරෙ හිතින් මවාගත්ත සම්බන්ධකම් තියෙනවා කියලා හිතනවා. ඉතිහාස පොත් වල අහුමුලු වල ඉන්න, මිනිස්සුන්ගෙ ආත්ම ඇතුලට එබිලා බලන්න උත්සාහ කරනවා. අවුරුදු දහස් ගාණකට කලින් මිය ගියපු මිනිස්සුන්ගෙ දෙවිවරුන් සහ මගේ දෙවියන් වහන්සේ අතර තියෙන මායාවාදී ආධ්‍යාත්මික බැඳීමට ආදරය කරනවා. ඒත් ඒ කිසිම දෙයක් මගේ ජීවිතයේ තියෙන නිශ්චලතාවය වෙනස් කරන්න සමත් වෙන්නෙ නෑ. නාඳුනන මිනිස්සු එක්ක බීර පානය කරන්නත්, දුමක් අදින්නත් ඒ අතරෙ ඒ අයගෙ ජීවිත වලට එබිලා බලලා ඒ ආත්ම ඇතුලෙ හැන්ගිලා තියෙන හැඟීම් එක්ක එකතු වෙලා වචන වලට නගන්න අමාරු ජාතියේ විකාරරූපී සතුටක් ලබන්නත් මම ආශා කරනවා. භාෂාවල් කියන්නෙ කිසිම වැදගම්මකට නැති දේවල් කියලා මට හිතෙනවා. මොකද මේ ලොකෙ තියෙන කිසිම භාෂාවක මගේ හැඟීම් විස්තර කරන්න පුලුවන් වචන නෑ කියලා මම විශ්වාස කරනවා. 



එයාගෙ මූනෙ එක එක හැඟීම් ඇඳිලා නැති වෙලා යන හැටි මම බලන් ඉන්නවා. සමහර හැඟීම් හරිම සැහැල්ලුයි, කෙටියි. ඒත් සමහර ඒවා හරි බරයි, දිගුයි. මම චිත්‍රශිල්පියෙක් වුනා නම් එයාගෙ මූණෙ ඇඳෙන හැම හැඟීමක් ම එකිනෙකට වෙනස් රේඛා වලින් සුදු කොළයක අඳින්න තිබ්බා කියලා හිතෙනවා. ඒත් මo චිත්‍ර ශිල්පියෙක් නෙවෙයි, නිරීක්ෂකයෙක් එහෙමත් නැත්නම් බලන් ඉන්න ආසා කරන මනුස්සයෙක් විතරයි. එයාගෙ මූණෙන් පේන්නෙ එයාගෙ හදවතේ ඇති වෙලා නැති වෙලා යන සoකීර්ණ හැඟීම් සමුදායක එක්තරා විදිහක පිළිබිඹුවක් බව මට දැනෙනවා. එයාගෙ අතින් වත් අල්ලන්නෙ නැතුව එයාගෙ ඇස් දිහා බලාගෙන විතරක් ම ඉන්න පුලුවන් නම් කොච්චර දෙයක් ද කියලා මට හිතෙනවා. ඒත් හැමදෙයක් දිහා ම බලාගෙන විතරක් ඉන්න එක හැමදාම කරන්න බැරි බවත්, ඒ දේවල් එක්ක එකතු වෙන්න ඕන බවත් එයාගෙ ඇස් මට කියනවා.



Categories