Monday, July 11, 2011

"මම රස්තියාදුකාරයෙක් මි"

  මිනිහෙක් මෙ ලොකෙ අහන්න කැමති ම දේ මොකක්ද දන්නව ද? ඒ තමයි කවුරු හරි "ඔයාට ඕන දෙයක් මාත් එක්ක කියන්න, මම ඕන වෙලාවක් ඔයා කියන ඕනම දෙයක් අහන් ඉන්නම්" කියල කියන එක. ඒත් මට නම් එහෙම චාන්ස් හම්බ වෙලා තියෙන්නෙ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්... දැන් දවස් දෙකක් ගෙදරට ම වෙලා හිටියෙ, ඉර බහිනවා බලන්නවත් ගියෙ නෑ. ඔයා කවදා හරි මේ වගේ තනියම ඉදලා තියෙනවා නම් දන්නවා ඇති පාලුව කොච්චර හීතල, කලු පාට දෙයක් ද කියල. ඒක දරා ගන්න බොහෝම අමරුයි. හරියට නිකන් කොඳු ඇටේකට ඉන්ජෙක්ශන් එකක් ගහනව වගේ.
  මම ගොඩක් දවස් වලට අහස දිහා බලා ගෙන කල්පනා කරල තියෙනවා. එ අහස යට හැමෝම සතුටින් හිටියෙ. මිනිස්සුන්ගෙ හිනා හඩවල් වලට මම ඊර්ෂ්‍යා කරා, තාමත් කරනව. මොකද මට එහෙම හිනා වෙන්න බෑ. හැම තරුවක් ම අහසෙ දිලිසුනේ හරියට බොහොම සන්තෝසෙන් හිනාවුනු මිනිස්සුන්ගෙ දිලිසෙන දත් වගේ. ඒව හරියට මගෙ බඩට උඩින් වම් පෙත්තෙ තියෙන රතු ම රතු පාට, නිතරම ගැහි ගැහි තියෙන, මම තාමත් මොකක්ද කියල අදුර නොගත්ත මස් කුට්ටියෙ අනිනව වගේ දැනුන. මම ශිෂ්‍යත්වෙ වෙනකන් ගියේ ගමක බොහොම පොඩි ඉස්කොලෙකටනේ. ඒකට ආවේ බොහොම දුප්පත්, එත් අර ගැහෙන රතු පාට මස් කෑල්ල ගෙන හොදට අදුර ගෙන හිටපු මිනිස්සුන්ගෙ ළමයි. ඒගොල්ලො ගොඩ දෙනෙක් ඉස්කෝලෙට ආවෙ තාත්තගෙ බයිසිකල් එකෙන්. ගොඩක් වෙලාවට ඉස්සරහ බාර් එකෙයි, පිටිපස්සෙ ලගේජ් එකෙයි දෙන්නෙක් වාඩි වෙලා යනව. මම ඒ අය දිහා බොහොම ඊර්ෂ්‍යාවෙන් බලන් හිටියා. හරියට ඒ අය මට නොදී මොකක්හරි රස කෑමක් කනව වගේ. ඉස්කෝලෙදි වෙච්ච දේවල් කියව කියව, හරියට නිකන් "අද ඉස්කෝලෙදි මාර වැඩක් උනානේ.. කකුලක් කැඩිච්ච බින්කුන්ඩෙක් කිසිම වෙනසක් නැතුව ඇවිද්දනේ..." වගේ කතා තමයි මට කියනව ඇහුනේ. ඒව තමයි ඒ අයගෙ ලෝකෙ "BREAKING NEWS". කොච්චර සුන්දර ද නේද? රෝමාන්තිකවාදය ගැන උපනිෂද් පොත්වල ඉදන් සන්ගිලි පාලමට ම කියෙව්වත් මට තාම ඒ රසය දැනිල නෑ..
   ඒක පැත්තකින් තියමුකෝ, ඔයා දන්නව ඇති මම කවදාවත් "පවුලක්" කියල එකක ජීවත්වෙලා නැති උනාට ලෝකෙ හැම මහද්වීපෙකට ම මුල් ගියපු බොහොම ලස්සන "ඒ වගේ එකක්" මටත් තියෙනව. එකෙ සුදු අය, කළු අය, දුබුරු අය, සාරි අදින අය, කිමොන අදින අය වගේ එක එක ජාතියෙ අය ඉන්නව. කාත කරන භාෂාව, ඇදුම් පැලදුම් වෙනස් උනාට අපි ඔක්කොම එක ම ලේ තියෙන අය. එක කොච්චර "හයිබ්‍රිඩ්" වෙලා ද කියන එක මෙතනට අදාල නෑ. අපේ පවුලෙ පොදු ලක්ශනය තමයි හැමෝම තමන් ගෙ ම කියල ආදරයක් හොයා ගෙන ගිහිල්ලා, තට්ට තනියම, නන්නාදුනන හිතවත්තු මැද තනි වෙච්ච අය වෙලා ඉන්න එක. ඒ සමහර කට්ටිය මම දැකලා තියෙන්නෙ එකම එක දවසයි. අනිත් අය මම දැකලා තියෙන්නේත් එහෙමම තමයි.  මෙ විශාල පවුලෙ ගොඩ දෙනෙක් අවුරුද්දකට සැරයක් වියනා වල ඉදන් කිලෝමීටර් 40ක් විතර බැවේරියන් බෝර්ඩර් එක පැත්තට වෙන්න තියෙන විලා එකකට එකතු වෙනවා weinhnatchen(christmas) එකට. ඒක අයිති "මාරො" ගෙ සීයට. එදාට එයා weinhnachtsmann ට ඇදල "frohliche weinhnatchen!" කියලා හැමොටම තෑගි දෙනවා. මට තාම මතකයි එයා දීපු එයාම හදපු විස්කෝතු වල රස. ම්හ්හ්හ් mouth watering...! මේ පාරත් ඒක එහෙමමයි. ඒත් මම මෙහේ තනියම. හැමදා ම වගේ සතුට මට අඩි දෙක තුනක් එහායින් ඉද ගෙන කොකා පෙන්නනව.
  මම කොච්චර වැරදි වලින් මිදුන උනත් එක වැ‍රැද්දක් තාම කරනවා. තාමත් මම "වීනො" ටිකක් බොනව. මාරො නම් ඒක දැන් නවත්තල. දැනුත් මේ කෑන් එකක් ඉවර කරා. කරන්න දෙයක් නෑ ,, ඒක නවත්තන්න ම අමාරුයි. මට තව ලෙඩක් තියෙනව. ඒක තමයි රෑට නින්ද යන්නෙ නැති එක. ගොඩක් වෙලාවට මම නිදා ගන්නෙ නැතුව ඩිවාන් එකේ වාඩි වෙලා ඔහේ බලාගත්ත අතේ හරිම හිස්කමින් බලන් ඉන්නව. ඒ වෙලාවට මහ පාලුවක්, හිස්කමක්, බලාපොරොත්තු කඩන් වැ‍ටුනම දැනෙන හැගීමක් දැනෙනව. මුලු ලෝකෙම හරිම නිශ්ශබ්දයි. මට ඇහෙන්නෙ ඈත මූදෙ සද්දෙ විතරයි. ඒ වගේ වෙලාවට මීට ටික කාලෙකට කලින් නම් ස්ලීපින් ටැබ්ලට්ස් දෙකක් ගත්ත. ඒත් මම තුන් වෙනි පාරට අසනීප උනාට පස්සෙ ඩොක්ටර් ඒව ගන්න එපා කිව්ව නිසා දැන් ඒවා ගන්නෙ නෑ.. ඉතින් ඔහොම තමයි ජීවිතෙ ගෙවිල යන්නෙ....


   අහ්හ් දැන් දහයටත් ළගයි! දවස් තුනකින් ‍රැව්ල කැපුවෙත් නෑ. වොශ් එකක් දාගත්තෙත් නෑ. තව එකක් U/W එකක් හේදුවෙත් නෑ... දැන් ඒ ටික කරගෙන මම මගේ ඉරිච්ච සයිඩ් බෑග් එකයි, ස්ට්‍රින්ග්ස් 6 යි අරගෙන, අර ජීවිතෙට ම හෝදපු නැති ඩෙනිම් කලිසමකුයි, අයන් කරපු නැති ඨ් එකකුයි ඇදල, ස්ලිපර්ස් දෙකක් දා ගෙන කොහේ හරි යනවා... "කොහේ හරි.........!" ඒත් කොහාටද යන්නෙ?? බීච් එකට? ගෝල් ෆේස්? ප්‍රොෆෙසර් උස්වත්තේආරච්චි හම්බවෙන්න? ඉන්ද්‍රචාප අයියා? ශනූ? අපේ වැල්ලවත්තෙ පරණ මකුලු දැල් වලින් වැහිච්ච ෆ්ලැට් එකට? හබරන? සීතා එලිය? මිලානෝ වල දූමො ස්ක්වෙයර් එකට? GLUCKLICH VILLA එකට? මම කොහේද යන්නෙ...........? කමක් නෑ පාරට ගිහිල්ල හම්බවෙන පලවෙනි බස් එකේ නැගල ඒක නවත්වන තැනකින් බැහැල තව එකකට නගිනවා..... ඊට පස්සෙ.......? අහ්හ්හ්හ් එක එතකොටනේ.......................!

1 comments :

Categories