Friday, December 14, 2012

"ලයිෆ්"



"මචo, මට නම් සිරාවටම හිතෙන්නෙ උඹේ වර්තමාන තත්වෙ පිටිපස්සෙන් ඉන්නෙ විජාතික බලවේගයක්. ජෝක් නෙවෙයි බන්. අපි මේකට කොමිසමක් පත් කරමු. ඊට පස්සෙ බැරි යයි ෂේප් එකේ පරීක්ෂණයක් කොරල බලන්න. අනිත් එක බන් උඹේ වටේ කැරකි කැරකි ඉන්න බහු ජාතික සමාගම් ගැන කල්පනා කරනකොට උන් උඹට ආසනික් කවලා නැවතුනොත් ඇති බන්. ඔන්න ඔහේ ආපහු ටෙන්ඩරයක් දාල බලපන්කො. හොඳ මාලුවෙක් ඇවිත් ඇම ගිලීවි.. :ඩී"


"මට නම් තේ රෙන්නෙ නෑ උබට මොකක් වෙලා ද කියලා. හැමදාම එකම විදියයි. මo බලන් ඉන්නව අද වෙනස් වෙයි, හෙට වෙනස් වෙයි කියල. ඒත් උඹට නම් කිසිම ගානක් නෑ. නමයට දහයට නැගිටිනවා. ආපහු කාල බීල අකුලගෙන නිදියනව. පහට හයට විතර නැගිටල සුද්ද වගේ සූට් බූට් ගහලා මල උලව් ගිටාරෙකත් එල්ල ගෙන දඬු මොණරෙට නැගලා ඉගිල්ලෙනවා. රෑ දෙගොඩහරි ජාමෙට හතර ගාතෙන් ගෙදර ඇවිත් වැටෙන්නෙ. අනෙ ඇත්තට පොලිස්කාරයෙක් වත් නෑ නෙ උඹව අල්ලලා දඬුවමක් දෙන්න.. මේ අහන්න ම0 උඹව මෙච්චර දුක් මහන්සි වෙලා හැදුවෙ මේ වගේ කාලකන්නියෙක් කරන්න නෙවෙයි."


"මේ, මොකක් ද බන් උඹට වෙලා තියෙන්නෙ? ඔය කොණ්ඩෙ රැවුල කපල දාලා මනුස්සයෙක් වගේ හිටපන්කො. බලපන් උඹ දැන් මාස ගානක් තිස්සෙ ඔය ඩෙනිම නේ ද පට්ට ගහ ගහා අඳින්නෙ? ගඳ ගහනවනේ බන්. මෙතන්ට ඕන තරම් ඔය ලස්සන ලස්සන කෙල්ලො එනව නෙ. ඔය එකක් දාගනින් බන්. කල්ලමරේ එතකොට. බූරුවො කෙල්ලො කියන්නෙ අපිට ආතල් දෙන්න ඉපදිච්ච ජාතියක්. උන් නිසා අපි මල උලව්වෙන් දුක් විඳින්න ඕන නෑ බන්. පොඩ්ඩක් හිතපන්කො. උඹ ලෝකෙ පෙරලන්න ගියාට ඇතුලෙන් උඹ මහ දුර්වලයෙක් බන්.. ඔන්න පට්ට කෑල්ලක් එනවා.. ඔන්න බලපන් ම0 දාන ටෝක් එක.. "

ඔහ් මයි බෝයි! ඔහොම නම් හරියන්නෙ නෑ කොල්ලො. අද නම් යූ ආ මාර ටයර්ඩ් ලුකින්ග්. මo අද තකහනියක් ම ආවෙ ඔයත් එක්ක ඉන්න නෙ. පොඩ්ඩක් හිනා වෙලා ඉන්නකෝ. ම්ම්ව්ව්ව්වාආආඅහ්හ්හ්හ්! මට අද නම් ඔයාව ඕනෙමයි. මේ.. පොඩ්ඩක් ගන්නකෝ. එතකොට ඔය සෑඩ් මූඩ්ස් ඔක්කොම ෂේප්. :ඩී "වේට් ඩාර්ලින්ග්, අයි'ල් ඔර්ඩර් සම් ..."

"සහෝදරවරුනි, අපි මේ වෙලවෙ එකාවන් ව නැගී හිටින්න ඕන මේ ජනතාවිරෝධී ආණ්ඩුවට එරෙහිව. ***පස්ස රෙජීමයේ මේ ගහන්න හදන්නෙ ස්වාධීන අධිකරණෙ පෙට්ටියට අන්තිම ඇණේ ගහන්න. ඒකට අපි ඉඩ දෙනවද..? නෑ සහෝදරවරුනි... අපි එකාවන් ව නැගී සිටින්න ඕන.. සිය දහස් ගණනින් එක්වන්න ඕන.. එහෙම උනොත් වැඩ කරන ජනතාවගෙ නිදහස, නීතිය සාමය රජ කරන දවස වැඩි ඈත නෙවෙයි කියල මම මේ අවස්ථාවේ දී ප්‍රකාශ කරන්න කැමතියි.. "

"බබා, අනේ ඇයි ඔයා මෙහෙම කරන්නෙ? අහ්? ප්ලීස් බබා. මට මෙහෙම දුක් දෙන්න එපා. ඔයා හොඳටම දන්නවා අපි දෙන්නා ගැලපෙන්නෙ නැති බව. දෙන්නෙක් ආදරේ කරනව කියන එකෙන් හැමදෙයක් ම හරියන්නෙ නෑ නෙ. ඒකට තව කොච්චරක් නම් දේවල් ඕන ද? මේවා ගැන ඔයා මට වඩා හොඳට ඔයා දන්නවා. ඔයාගෙ ඇතුලෙ නිදන් ඉන්න කෙනා ට නැගිටින්න දෙන්නෙ නැත්තෙ ඔයාමයි. ඔයා මට ඇත්තටම ආදරෙයි නම් ඔයා කරන්න ඕන මටයි "ජෙහාන්" ටයි සතුටෙන් ඉන්න දීලා ඔයාගෙ ජීවිතේ ලස්සන කරගන්න එක බබා ..."


"There's a lady who's sure all that glitters is gold
And she's buying a stairway to heaven.
When she gets there she knows, if the stores are all closed
With a word she can get what she came for.
Ooh, ooh, and she's buying a stairway to heaven." 






Sunday, November 11, 2012

:ඩී [ :D ]

"ඔවුහු ඔබෙ සන්තාපය විනිවිද ගොස්, ඔබ්ව මුළුමණින් ම නිශ්චලතාවයට පත් කරති.. ස්මාරක අතර හිඳගෙන."
   -ඩෑන් ෆොන්ල්බර්ග්



"උණුසුම් සිරුරු
අන්ධකාරයේ
එක්ව දිලිසෙයි
දෑත්, මාoශයේ මධ්‍ය ලක්ෂය තෙක්
ගමන් කරයි,
සම ප්‍රීතියෙන් වෙවුලයි
ආත්මය ප්‍රමෝදයෙන් ඉපිළ
ඇස තුළට පැමිණෙයි."
       -ඇලන් ගින්ස්බර්ග්


"අපි එකට ඉමු. අපේ හුදකලා හදවත් ලාම්පු එළියට යටින් නිරාවරණය කොට, දුම් රිය අන්ධකාරය තුලින් ඉදිරියට ඇදෙයි.
කාලය නමැති රාමුව පාලනය කිරීමට දෙවියන් විසින් නිර්මාණය කරන ලද එක ම ක්‍රමවේදය එය පමණි."
     -ටෝරි ඒමස්


'යතුර ඉර එළිය වැටුනු ජනෙල් පඩිය උඩ, මා ළඟ ඒ යතුර තියෙනවා, එයිලීන්, අපි කසාද බඳිමු!
ඔච්චර සැර වෙන්න එපා,
යතුර ඉර එළිය වැටුනු ජනෙල් පඩිය උඩ!'
 -ඇලන් ගින්ස්බර්ග්


ඇති! දැන් හොඳටම ඇති. යතුර කෝ? මo කෝ? මට මොනවා වෙලා ද මේ?

"අහෝ දෙවියනි, මගේ යාච්ඤාවට කරුණාවෙන් සවන් දෙනු මැනවි"

"මට මේ මොකවත් එපා යකෝ. මොකුත් ම එපා. මට ඕන හිස්කම. මෙලෝ හත්තිලව්වක් නැතිකම. එවරස්ට් කන්ද තරම් උස බලාපොරොත්තු කඳු, තරු කැට අතරෙ ගෑවි ගෑවි යන හීන මට එපා. මට මාවත් එපා. මට මොකවත් එපා. මට ඉතිරි එකම දේ, තාමත් ගැහෙන මේ හදවත, ඒකත් ගන්න. ඇයි ඒක විතරක් තාම මට දීල තියෙන්නෙ. කරුණාබර දෙව්පියාණෙනි, මාගේ යාච්ඤාවට සවන් දෙනු මැනව!"



උඹලා දන්නව ද? මo මේ බලන් ඉන්නවා. ඇස් රිදෙනකන්, කකුල් කඩෙත්තුව හැදෙනකන්, කොඳු ඇට පේලිය දිගට හීතලක් ඇවිත් මගේ ආත්මය හිරිවට්ටලා යද්දිත් මo බලන් ඉන්නවා. බලන් ඉඳලා එපා වුනා ම ආයෙත් බලන් ඉන්න ගන්නවා. උඹලා දන්නව ද කවුරු එනකන් ද කියලා? :ඩී ගෙස් කොරපල්ලකො බලන්න. හිහී හිහී හහ් හහ් කෝ බෑ නේ.

සැමුවෙල් බෙකට් ගෝඩෝ එනකන් බලන් ඉන්නවා. එතකොට බාරෙ, ඌ සකුනි එනකන් තාම බස් ස්ටෑන්ඩ් එකේ බලන් ඉන්නවා. එතකොට අයිෂ්වරී, ඒකි මෙඩිසින් සිලෙක්ට් වෙනකන් බලන් ඉන්නවා. හඳ පායනකන්, ඉර බැහැලා යනකන්, හිම දිය වෙනකන්, රොබරෝසියා මල් පිපිලා පරවෙලා යනකන්, ඈෂ් ට්‍රේ එකේ සිගරට් කොට පිරෙනකන්, ඩ්‍රාමා එක පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකන් අපි බලන් ඉන්නවා.

හොව්! හෝව්!! ඔන්න ආවා නියම තැනට. "ලෝකය රඟ මඬලකි. අපි එහි නළුවෝ වෙමු" ශේක්ස්පියර් කියලා තට්ටෙ තියෙන ප්ලේරයිට් කෙනෙක් ඔන්න ඔය වගේ කතාවක් කිව්වැයි කියලා අපි හැමෝම අහලා තියෙනවා නෙ. ඉතින් මම, උඹ, අපි ඔක්කොම අපේ ජීවිත රoගනේ ඉවර වෙනකන් බලන් ඉන්නවා. දැන් මට ඇති මේ විකාර රඟපෑම. උඹලාට තව තවත් මේ වට රඟ මඬල මැද්දෑවට වෙලා අන්තිම පේලිය විසිල් ගගහා හුරේ දානකන් ගොන් පාන්න ඕන ඇති. මට නම් දැන් ඇති. ඉතිරි ටික ඉක්මණට ෆාස්ට් ප්ලේ දාල ඉවර කරලා තිරේ වහගන්නයි මට ඕන.

උඹ කවදාහරි දවසක තියටර් එකකට ගිහින් ෂෝ ඉවර වෙලා, ලයිට් දාල, දොරවල් ඇරල, මිනිස්සු පිට වෙලා යද්දි පුටුවෙම වාඩි වෙලා ඉඳල තියෙනවද? චිත්‍රපටිය ඉවර උනාම ඇහෙන්නෙ පුටුපෙරලෙන සද්ද, උගුර පාදන හඬවල්, එක එක විදියෙ අඩි සද්ද විතරයි. ඒකෙත් මහ අමුතුම විදියෙ ත්‍රිල් එකක් තියෙනවා. හරියට රැවුල කපන කණ්ණාඩියක් ඉස්සරහ නිරුවත් උනා වගේ. එතනදි එන්නෙත් මේ වගේ ම දෙකයි පනහෙ ෆීලින්ග් එකක්. මo මෙච්චර මේ කියවන්නෙ මo ඉන්න මූඩ් එක උඹට තේරුම් කරන්න.



දවසක් අයිෂ්වරී මට කිව්ව, "යතාර්ථය දකින ඇස් හතරකට මායාව වැඩක් නෑ" කියලා. ඒත් ඒ වෙලාවෙ මායවයි, යතාර්ථයයි වෙන් කරල අඳුරගන්න බැරි තරමට අපි දෙන්නම මත් වෙලා හිටියෙ. ආදරෙන්, නෑ එහෙම ම කියන්න අමාරුයි. එතන රාගයත් ගෑවිලා තිබ්බා. දැනුත් මම මත් වෙලා. ඒත් එදායි, අදයි අතරෙ ලොකුම ලොකු වෙනසක් තියෙනවා. හීතලෙන් ගල් වෙච්ච මගේ ආත්මෙ උණුසුම් කරන්න ඈ මෙතන නෑ. අනිත් එක මම මත් වෙලා ඉන්නෙ ආදරෙන් වත්, රාගෙන් වත් නෙවෙයි. අකුරු කරන්න බැරි මහ අමුතුම විදියෙ හැඟීම් කෝටියකින්.

ම0 අවුරුදු දහයෙදි කවදාවත් හිතුවෙ නෑ තව අවුරුදු දහයකින් මගේ ජීවිතේ මේ විදියට අඩ සිහියෙන්, සිරින්ජරයක් අතේ ගුලි කරගෙන හිස් බ්ලොග් පිටුවක වචන ටිකක් කුරුටු ගාලා ඉවර කරන්න වෙයි කියලා. ඒත් උඩ ඉන්න එක්කෙනා අපේ ජීවිත පාලනේ කරන්නෙ අපි හීනෙන් වත් හිතන විදියට වත් නොහිතන විදියටවත් නෙවෙයි නෙ. ප්‍රොෆෙසර් නන්ද කියන විදියට මේක කෆ්කගෙ ලොකෙ. හහ් හහ් ඒත් මට නම් මේ ඔක්කොම මිලාන් කුන්දේරාගෙ හරි, පවුලො කොය්යෝගෙ හරි නව කතාවක පරිච්චේදයක් වගේ. කොතනින් පටන් ගත්ත ද, කොතනින් ඉවර වෙයි ද කියල කිසිම නිනව්වක් නෑ.


හහ් හහ් හහ් හහ් හහ් හහ් හහ් හහ්

ඉතින් උඹ මේ අහන් හිටියෙ කඩා වැටිච්ච හීන මාලිගාවක ඉතිරි වෙච්ච මතක එක්ක රමණයෙ යෙදෙමින් මරණය එනකන් බලන් ඉන්න රස්තියාදුකාරයෙක් ගෙ අන්තිම වචන ටික... :ඩී



"අහෝ දෙවියනි, ගන්න මා ඔබ තුරුලට.. ගන්න... ගනින් යකෝ..!!"




Tuesday, October 9, 2012

"අන්ටයිට්ල්ඩ්/Untitled"



    මට මාව නැති උනේ, ඔයාව නැති වෙන්න ගොඩාක් කාලෙකට කලින්. කාත් කව්රුත් නැතිව, අරමුණක්, බලාපොරොත්තුවක් නැතුව ඔහේ පාවෙලා පාවෙලා ගියපු මගේ ජීවිතේට මහ මෙරක් උසට බලාපොරොත්තු දීලා මට "මම ජීවත් වෙනවා" කියලා දැනෙන්න ඉඩක් දුන්නෙ ඔයාගෙ ආදරේ. ඔයාට මතකයි ද අර එදා අපි ඉර බහින දිහාව බලන් ඉඳලා ඔයාට විතරක් ඇහෙන්න කියපු කවිය?

"එක ගිම්හානෙක
රතු පසුතලයක
තෙල් සායම් රුවක් මත
මo දිය කළා මගේ හිත

සැඩ හිරුට යටින්
රතු පොළොව මතින්
දියවී ගල් උනා සිතුවිලි
අලු පාටට..."

    මට ඒක නිකන් ම නිකන් ඒ වෙලේ හිතට ආපු වචන පෙළක් උනාට එදා ඒ වචන අතරින් රිoගලා ගිහින් ඔයා මාව තේරුම් ගත්තා. ඔයා පස්සෙ දවසක මට කියපු විදියට කලු ම කලු හතරැස් ලෝකෙක, අඳුරු මුල්ලකට වෙලා තට්ට තනියම, පාලුවෙන් හිරිවැටුණ ආත්මයක් ඒ වචන අතරින් ඔයාට පෙනුනා. ඔයා තරම් හොඳට මාව කියවන්න මටවත් බැරි උනා. මගේ හැමදේම ඔයා උනා. ඉර පෙන්නලා හඳ කියන්නෙ නැතුව ඉර, ඉර විදියට ම දකින්න පුලුවන් හය්යක් ආපු ඒ දවස ඔයාට මතක ද පෙම්බරී?

"අහසේ දිලිසෙන තරු කැට යාකර
අඳිනෙමි ඔබෙ රුව රෑ කලුවර මත
සිහිනය දිදුලයි ඔබෙ හසරැලි මත
ගොඩවෙමි සිහිනෙට දිවිමග තරණට"


    ඒ වචන මo තනි නෑ කියලා මට දැනෙන්න ඉඩ දුන්නා. ලෝකයක් ඉස්සරහ හිනාවට ලක් උන මම ජීවිතේ පළවෙනි පාරට හිනා වුනා. ජීවිතේ හැමදෙයක් ම හරි ඉක්මණට වෙනස් වෙනවා. එක දවසක් මගේ පපුවට තුරුළු වෙලා ඔයා කෙඳිරුවා. ඔයා කිව්ව වගේ ම ඒ දේවල් එහෙමම උනා. කලු ගැහිලා තිබ්බ මගේ තොල් වලට ඔයා ආපහු රෝස පාට දුන්නා. මගේ ඇස් රතුවෙනව ද කියලා ඔයා ඇස් වලට එබිලා බලන් හිටියා. මගේ ඇතුලෙ හිටපු සිත්තරාට ඔක්සිජන් දීලා එළියට ගත්තෙ ඔයා. ඒ විතරක් ද කොච්චරක් නම් දේවල් වෙනස් උනා ද? අහ්? ඔයාට මතකයි ද පෙම්බරී?

   අපි තරු පිරිච්ච අහස දිහා බලන් හිටියා. එක එක තරු යා කරලා ලස්සන ම ලස්සන හීන කන්දරාවක් අපි මවාගත්තා. හඳ එළියෙ නිරුවතින් නැටුවා. අපේ ඇස් වලට එබී ගෙන බලන් හිටියා. අපේ ඇස් වලින් අපේ හිත් වල තිබ්බ හැමදෙයක් ම අපි දැක්කා. ආදරේ, ලෝබකම, ආශාව, හීන, බලාපොරොත්තු.. එහෙමයි ඒ පෙනුන දේවල් වලට අපි අර්ථකථනයක් දුන්නෙ. 

   ඔයාට මතක ද අපි අර එදා අපි කියෙව්ව පොත? "මරණයයි, රමණයයි වෙන්වෙන්නෙ හීනි රේඛාවකින්." ඔයා ඒක ටිකක් හෙමින් කියවලා ඇස් දෙකේ කඳුලු පුරවන් මගේ පපුවට තුරුලු උනා. ඒ ඇයි කියලා ඔයා අද වෙනකන් මට කියලා නෑ. ඒ පොතේ තිබ්බ "ඔබ මා උන, මා ඔබ උන මොහොත" කියන වචන පේළිය ඔයාට වගේම මටත් ගොඩාක් තදින් දැනුනා. ඒත් කල්පයක් කියන්නෙ තත්පරෙන් බිඳක් කියලා කවි ලියවෙන මේ ලෝකෙ අපිටත් නොදැනිම අර "ඔබ මා උන, මා ඔබ උන මොහොත" ගෙවිලා ගියා. 

 "ජීවිතේ හැමදෙයක් ම ගොඩාක් ඉක්මණට වෙනස් වෙනවා." මo මේ කියන දේවල් ඔයාට ඇහෙනව නේ ද පෙම්බර්‍රි? තරු තියෙන්නෙ එච්චර ඈතින් නෙවෙයි නේ ද? පුන්චි ම පුන්චි තරු අපි දිහා බලන් ඉඳන් හෙමීට මුමුණන්නෙ "මේ ලෝකෙ කව් රුත් තනි නෑ" කියලා, ඔයාමයි නෙ මට කියල දුන්නෙ. එදා මට ඒක තේරුණේ නෑ. ඒත් අද තේරෙනවා..

  

Friday, October 5, 2012

"ද ස්ටෝරි"



     "එකමත් එක දවසක, ලස්සන ම ලස්සන උදේක, ලස්සනම ලස්සනට නිල් අහසෙ ඉරට ටිකක් මෙහාට වෙන්න, ඒත් කිසිම හැඩයක් නැති, ඒත් තනියම තියෙන කොට අමුතු ගතියක් තියෙන, වළාකුළක් පායලා තිබුණා. වළාකුළ සුදට සුදේ එයට සැමදා සුපුරුදු තනිකම හිතේ හොවාගෙන, කිසිම බලාපොරොත්තුවක් නැතිව හිටිය වෙලේ එයාට ඇහුනා කුරුලු පැටියෙක් ලස්සනට සින්දුවක් මුමුණනවා.



"කලුවර රෑ හඳක් වගේ
අහසේ නුඹ ඉන්නව නම්
ආසයි මම නොකී කවිය
නුඹට කියන්න.."


       වළාකුළ මෙහෙම ඇහුවා. "ඔයා කාට ද ඔය කියන්නෙ?" කුරුලු පැටියා කිව්වා, "මගේ පෙම්වතීට." වළාකුළ කිව්ව එයා ගාවට ගිහින් සින්දුව කියන්න කියලා. ඒත් කුරුලු පැටියා කිව්වෙ එයා ඉන්නෙ ලොකු දුරක කියලා. ඒ දෙන්නා කතා කළා ගොඩාක්. දන්නෙ ම නැතුව යාලුකමකට එහා දෙයක් ඒ දෙන්නා අතරට ඇවිත් තිබුණා. වළාකුළ කුරුලු පැටියාගෙන් ඇහුවා ඒ මොකක් ද කියල. දෙන්නා ම එකතු වෙලා ඒ දේට නමක් දැම්මා.


"උදා හිරු එළියේ
අලුත් ඉරක් දෝ මේ.."

"සුවඳ දැනී දැනී දැනෙනවා...."


      වළාකුළ ගාව කුරුලු පැටියා නිතර දෙවේලේ රැඳුනා. වළාකුළ රෑ බලන තැන නෙවෙයි උදේට. එයාව සුළඟ දවසෙන් දවස තැනින් තැනට අරන් යනවා. ඒත් ඒ දෙන්නගෙ බැඳීම සුළඟට බිඳින්න හුඟාක් අමාරු වුණා. ඒත් වළාකුළ වෙනස් වෙන්න පටන් ගත්තා. එයාගෙ හිතට ගොඩාක් බයයි, කුරුලු පැටියා මේ විදියට තැනින් තැනට ඇවිත් අතරමo වෙයි කියල.


      කවමදාකවත් රණ්ඩු වෙන්න හිතලාවත් නොතිබුණු වළාකුළ කිව්වා, "මගෙන් ඈත් වෙන්න. ඔයාගෙ ජීවිතේ අද හෙටම වතුර වෙලා යන වළාකුළකට යට කරන්න එපා. ලස්සන කිරිල්ලියෙක් ඔයා එනකන් ඇති." කියලා. ඒත් කුරුලු පැටියගෙ හිත හොඳට ම රිදුනා. එයා කිව්වා, "පලවෙනියට ඔයා දැක්ක දවසෙ මුමුණපු සින්දුව ඔයාටමයි. මම ඔයාගෙන් ඈත් වෙලා ඉන්නෙ කෝම ද? ඇයි ඔයා මගේ සතුට ගැන නොහිතන්නෙ? අපි ජීවිතේට මුහුණ දෙමු." කියලා. 


      වළාකුළ කතා කළේ නෑ. කුරුලු පැටියා හිතේ ලොකු වේදනාවක් එක්ක ඉන්නෙ. ඒත් වළාකුළ සතුටු වෙන්නෙ කුරුලු පැටියා සතුටෙන් ඉන්නකොට. වළාකුළට කියාගන්න බැරි දුකකින් හිත පිරුනා. එයා ගොඩාක් අසරණයි. කුරුලු පැටියා එයාට ඇහෙන්න සින්දුවක් මුමුණනවා..


"ආවාට නොකියාම ජීවිතෙන්,
නවතින්න හිතුවා ද ආයෙමත් ආදරෙන්.."

දෙවියනේ කොහොම කියන්න ද වළාකුළට දැනුන වේදනාව.. වළාකුළට කෑගහන්න හිතුනා. අනේ මගෙන් යන්න හදන්න එපා. මට ඔයාව ඕන කියලා. ඒත් බැහැ. වළාකුළ ඒ දුක දරාගත්තා. කුරුලු පැටියා ජීවිතේ විඳින්න ඕන. කුරුලු පැටියා රෑ බෝ වෙනකන් වළාකුළ ගාවට වෙලා හිටියා. ඒත් නින්ද ගිහින් ඇහැරෙන කොට වළාකුළ එදාත් ගොඩාක් දුරට පා වෙලා ගිහින් තිබුණා. කුරුලු පැටියා එයාව හොයාගෙන මුලු අහස පුරාම පියාඹන්න ගත්තා. වළාකුළ, ලොකු වැහි වළාවකට මුවා වුණා කුරුලු පැටියට හොයාගන්න බැරි වෙන්න. එයාට දැනුන වේදනාව කොච්චරක් ද දන්නෙ එයා.. කුරුලු පැටියා වළාකුළව හැමතැනම හෙව්වා. බැරිම තැන ආපහු හැරුනා. ඒත් වළාකුළ එයා දිහා බලන් හිටියා. කුරුලු පැටියා ටිකෙන් ටික එයාගෙ ජීවිතේට හොඳින් මුහුණ දුන්නා. තවත් එයාට වළාකුළක අඩුව දැනුනෙ නෑ.


වළාකුළ කුරුලු පැටියාට පේන්න පායලා තිබුනා. හැමදාමත් වළාකුළ කළේ කුරුලු පැටියා දිහා බලන් ඉඳලා සතුටුවෙන එක. ඒත් වළාකුළ නැතුව ඇත්තටම දුකක් කුරුලු පැටියාගේ හිත ඇතුලෙ ඉතුරු වෙලා තිබුණා. ඒත් දැන් වළාකුළ පායලා. කුරුලු පැටියාට සතුටුයි.. ගොඩාක්... කුරුලු පැටියා කිව්වා "අපි ආයෙමත් කලින් වගේ ඉමු" කියලා. වළාකුළ ප්‍රතික්ෂේප කළා එයාව. කලින් කිව්ව දේවල් ම ආයෙම කිව්වා. කුරුලු පැටියා හිතුවෙ එයාගෙ වළාකුළට එයාව තේරුම් ගන්න බෑ කියලා."ඔයාට ඕන දෙයක් කරන්න. ඒත් මම 'ආයෙමත් ආදරෙන්' ආයෙ කියන්නෙ නෑ" එයා එයාගෙ දුක, කේන්තියත් එක්ක එක්කහු කරලා පිට කරා.

වළාකුළ ටිකෙන් ටික අළු පාටට හැරුනා. 'දඩොo!' මහ සද්දෙට අකුණක් කෙටුවා. අනේ! කුරුලු පැටියා ඉස්සරහ අර ලස්සනට පායලා තිබුන වළාකුළ දිය වෙවී, මහ .........."


"මේ ස්නේහ බන්ධනයෙන්
මේ ස්නේහ නිද්‍රාවෙන්
හුදකලා සමුගැනීමයි
අනවසර සමුගැනීමයි
මේ මහා සමුගැනීමයි..."

-ලිව්වේ අයිෂ්වරී





Sunday, September 30, 2012

හඳ එළිය



  හඳ පායලා. ලස්සනට ද කියන්න නම් තේරෙන්නෙ නෑ. හඳ එළියට උනත්, වෙන මොන මගුලට උනත් අර්ථ කථනයක් දෙන්න කලින් හොඳට හිතන්න ඕන. නැත්නම් ඒක සාධාරණ වෙන්නෙ නෑ. ඒ කියන්නෙ හැම අවස්ථාවකටම ගැලපෙන්නෙ නෑ. ඔය දේ ඉගෙන ගන්න මට කොච්චර නම් දේවල් වලට මූණ දෙන්න උනා ද කියලා දන්නේ මම නේ. ඉතින් ඕක අමතක කරන්න පුලුවනැයි..? 


  ම්ම් අද නම් වෙනදට වැඩිය එළිය වැඩියි. යෝන්ට් නම් කියයි හඳ එළිය ෆුල් සෙක්සි කියලා. කොකා කෝලා බෝතලයක් වගේ කෙල්ලෙක්ගෙ හැඩ වැඩ හැම දේකින් ම මතු කරලා අරගෙන සන්සන්දනය කරන එකත් එකෝමත් එක පට්ට ටැලන්ට් එකක් කියල හිතෙන්නෙ මෙන්න මේ වෙලාවට තමයි. අපේ ස්කීම් එකේ මගේ බැල්කනි එකට වැටෙන මේ හඳ එළිය ම තව කොහේ කොහේට නම් වැටෙනව ඇත්ද? ඈ?
  
  හඳ එළිය ගැන කොච්චර කවි, සින්දු ලියවිලා තියෙනව ද මo අහන්නෙ? එතකොට පෙම්වත්තු කීයක් නම් හඳ එළියෙ පැනලා ගිහින් ඇත්ද? අම්මෝ අනේ ඇත්තට එහෙම හිතන්න ගියොත් මේ හඳ එළිය යට කොච්චර නම් දේවල් වෙනව ද? මට දැන් නම් මතක් වෙන්නෙ දවසක් වැල්ලවත්තෙ ස්ටේෂන් එකේ බoකුවක වාඩි වෙලා ඇගේ අතකුත් අල්ලගෙන "ඇහි පිල්ලමක් යට කොච්චර නම් දේවල් වෙනව ද" කියන එක ගැන ඇගේ වචන වලින් ම කියනවා නම් "දාර්ශනික සොමියක්" ගත්ත හැටි. අනේ ඇත්තට සමහර දේවල් ගැන දිගට දිගට හිතන්න ගියොත් පිස්සු හැදෙන්න උනත් පුලුවන්. මොකෝ මේ ලොකෙ ගොඩක් දේවල් හරියට කොනක් හොයාගන්න අමාරු "ඉටැලියන් ස්පැගටි" එකක් වගේ නෙ. 

  මේ හඳ එළිය ම අපේ පාර්ලිමේන්තුව ඇතුළට වැටෙනවා. එතකොට ඒකෙ ඇතුළෙ ඉන්න කලු බල්ලො පිස්සු වැටිල බුරනවා. කාගන්නවා. ඒ විතරක් ය. මේ හඳ පානෙම මැර ඇමතිලාගෙ පුත්තු නයිට් ක්ලබ් යනවා. ගිහින් රණවිරුවන්ට උත්තමාචාරෙ පුද කරලා පහු වෙනිදා උදෙන් ම ධාතු වඳින්න තියෙන නිසා ඉක්මණට මාරු වෙනවා. ඇයි දෙය්යනේ උපාසකම්මලා පන්සල් යන්නෙ, හාමුදුරුවරු බණ කියන්නෙ, සෙලෙස්තිනා නගාගෙ හිනාව වැලි මලුවට හඳ පෑව්ව වාගේයි කියල හිතෙන්නෙ, දෙගොඩ තලා යන වතුරෙ තරඟ නැගී පෙණ විසිරෙද්දි කලු ගඟේ ඔරු පදින්න හිතෙන්නෙත් මේන් මේ හඳ පානෙ මයි නෙ. 

   පිටකොටුවෙ පහන් කණු යටට වෙලා ගනුදෙනුකාරයෙක් එනකන් බලන් ඉන්න ළැම පමණක් ලොවට පේන චාලට් අක්කලගෙ ජීවිත වලට නැතුවට ඇඟවල් වලට නම් හඳ එළිය වැටිලා ඇති. උන්ගේ අති උතුම් ස්වාමිවරු ඒ අහල පහළම බ0ගසාල වීදියේ අහු මුලු වල ගුලි වෙලා හඳ පානෙම සූස්ති උරනවා ඇති. එතකොට කැඩිච්ච වෑර්ලස් එෆ්.එම්. චැනල් වලින් තොර තෝන්චියක් නැතුව විචිත්‍ර ධර්ම කතික හාමුදුරුවරු "පොර බණ ටෝක්" උත් දෙනවා ඇති. 


   මගෙ දෙය්යනේ මට වැඩි වෙලාවත් ද? යකඩෝ දැන් නම් එකසිය හැටේ ස්ට්‍රෝන්ග් කෑන් එකක් ගහන එකත් එසේ මෙසේ වැඩක් ය. උද්ධමනෙ ද මොකක් ද එකක් නිසා මොන ලබ්බක් වත් අපිට ඕන විදියකට කරගන්න විදියක් නෑ නෙ. මේවා මතක් වෙන කොට තමයි අර පේන වැලේ වේලෙන්න වනලා තියෙන, අදත් ඇඳපු, හෙටත් අඳින, හිල් දෙකකින් පෝසත් යට ඇඳුම ඇඳන්, කන පැලෙන්න හෙවි මෙටල් රොක් මියුසික් එකක් දාගේන දෙකටැ නැවි නැවී, උඩ පැන පැන නටන්න හිතෙන්නෙ.  

  ඇත්තටම මිනිහෙක් ට පුලුවන් තමන්ගෙ සිතුවිලි වලින් ම මත් වෙන්න, හැඟීමුත් පොඩ්ඩක් තවරගෙන. ඒකට ඇල්කොහොල් ම ඕන නෑ. ඒ වගේම මිනිහෙක්ට තමන්ගෙ සිතුවිලිත් එක්ක ස්වයo වින්දනේ යෙදෙන්නත් පුලුවන්. හරියට මo මේ දැන් කරනවා වගේ. ඒකෙන් ගෑනියෙක් එක්ක නිදාගෙන ලැබෙන සුරතාන්තෙට වඩා වැඩි සතුටක් ලබාගන්නත් පුලුවන්.

   අපොයි අපොයි මo හඳ එළියෙන් පීලි පැනලා ෆුල් දාර්ශනික පැත්තකට ගියා නෙ. හහ් හහ්. ම0 මේ ළඟදි කියෙව්වා පොතක්. "Shanghai Baby" ලියල තියෙන්නෙ  "Wei Hui" කියලා තරුණ චීන කෙල්ලෙක්. ඒක චීන රජය තහනම් කරලා පිටපත් හතලිස්දාහක් පුච්චලත් තියෙනවලු. තම්න් විසින් ම තමන් ව දූෂණය කරගත්තු, අපේ පරම්පරාවෙ ආත්ම වල නිරුවත තමයි ඒකෙන් පෙන්නන්නෙ. ඒකෙ තියෙනව "ෂැන්ග් හයි" නගරෙ ඇළ ඉවුරක හඳ එළියෙ තමන්ගෙ බෙලහීන පෙම්වතා ඉදිරියෙ පෙම්වතී නිරුවතින් නටන අවස්ථාවක්. ඒක ඇත්තටම පට්ට තාත්වික විදියට වචන වලට හරවලා තියෙනවව කතුවරී. 



  දැන් නම් මටත් එහෙම කරන්න හිතිලා තියෙන්නෙ. ඔන්න මේ කතාව කියවන ඔයා මේ පැත්ත බලන්න එපා. මෙතන බෙලහීන පෙම්වතා, යන එන මo නැති, කාත් කවුරුත් නැති රස්තියාදුකාර තාරුණ්‍ය නියෝජනය කරන "මම". එතකොට නිරුවතින් නටන පෙම්වතී, බලපොරොත්තු කඳු ගුලි කරගත්තු අර ඉස්සෙල්ල කියපු රස්තියාදුකාර තාරුණ්‍යෙ ආත්මය හෙවත් "මගේ ආත්මය". ඔන්න දැන් මගේ ඉස්සරහ නිරුවත් වෙච්ච මගේ ආත්මය හඳ එළියෙ හිතෙන් මවා ගත්තු "හෙවි මෙටල් රොක්" සoගීතෙට නටනවා. උඹලට පේනවද? මට නම් පේන්නෙ නෑ. දැනෙනවා විතරයි... 

Saturday, September 15, 2012

"කොහේ ද කොහේ ද අපේ ලොවක්?"

ඔන්න ටියුෂන් පන්තියක් ඉවර උනා. වෙලාව 9යි. යාලුවො දෙන්නෙක් පන්තියෙන් එළියට ආවා. එක වාහනේකට දෙන්නා නැග්ගා. ටික දුරක් සද්දයක් නැතුව ගෙවුනා. ඔන්න දැන් උන් දෙන්න කතාව පටන් ගන්නයි යන්නේ. මo පොඩ්ඩක් සීන් එකෙන් පැත්තකට වෙනෙවා. :ඩී


"අඩෝ උඹ දවල් අහවල් චැනල් එකේ ගියපු ෆිල්ම් එක බැලුව ද?"

'ඒක යකෝ දෙකයි පනහෙ ලව් ස්ටෝරියක් නේ.  ඒ වෙලාවෙ ගියා නෙ. පට්ට කොන්සට් එකක් වෙන චැනල් එකක. මo ඒක බැලුවා.'

"අහ් අර චීන ද ජපන් ද ඩාන්සස් වගයක් තිබ්බ එක ද? මොකක් ද බන් ඕවගෙ බලන්න තියෙන්නෙ? අරෙහෙට මෙහෙට අතපය විසිකරයි. එච්චරයි නෙ. ඒ වගේ ද ෆිල්ම් එක."


'එතකොට උබෙ මල උලව් ෆිල්ම් එකේ තියෙන්නෙ අහවල් එකක් ද? යකෝ එකෙත් කරන්නෙ එක එක විදියට අතපය, කට, *ක හොලවන එක තමයි.' 

"ඒ උනාට ඒකෙ අර්ථයක් තියෙනවා."

'හොඳ නැටුමකත් අර්ථයක් තියෙනවා බන්. ඒත් ඒවා උබල වගේ ගල් මෝඩයොන්ට තේරෙන්නෙ නෑ. තේරුම් ගන්න ඕනෙත් නෑ.' 

"හරි හරි. දැන් උබ තමයි බුද්ධිමතා. මo මෝඩයා. යකෝ එකම දේ තේරුම් ගන්න උඹ වැඩි කාර්ය ප්‍රමාණයක් කරනවා. මo ඒක ලේසියෙන් කරනවා ෆිල්ම් එකක් බලලා. උඹට මහ ලොකු අතපය විසිකිරිල්ල දිහා බලලා පැය ගාණක් කල්පනා කරන්නත් වෙනවා *ක බිම ඇනගෙන. 



'බූරුවා. යකෝ මෙහෙම හිතපන්. ඔන්න යාලුවො දෙන්නෙක් ඉන්නවා මූදක් අයිනෙ. මුන් දෙන්නට ම මාර තිබහයි. එකෙක් වැල්ලෙ වළක් හාරගෙන කිවුල් වතුර බොනවා. අනිත් එකා ටිකක් ගොඩබිම ඇතුලට ගිහින් දොළ පාරක් හොයාගෙන නිල් කැට වගේ වතුර බොනවා. දෙන්නගෙම වතුර පිපාසෙ නිවුනට ඒ එකෙම දෙයින් නෙවෙයි. ඒ වතුර බිව්වට පස්සෙ දෙන්නට උන දේවලුත් ඒ වගේ ම වෙනස්. ඒ ටික උඹ හිතා ගනින්.'


"මට උඹේ ඔන්න ඔ‍ය කතා නම් තේරෙන්නෙ නෑ. දෙයක් කියනවා නම් හරියට කියපන් ඔක්කොම තේරෙන්න පැහැදිලි හේතු සහිතව. උඹ හැමදාම මොකක් හරි ලබ්බක් කියන්න පටන් අරන් එක තැනකින් නවත්තලා ඉතිරි ටික හිතාගනින් හරි මොකක් හරි ලබ්බක් කියනවා."

'යකෝ මොකක් හරි දේක ඔක්කොම කිව්වාම කිසිම ගතියක් නෑ. ඉතිරි ටික උඹට පුලුවන් හැටියට ගොඩනගාගනින්. එතකොට මo කිව්ව දේට උඹේ සිතුව්ලිත් එකතු වෙනවා. ඒ දේ වැඩි දියුණු වෙනවා යකෝ.'


"අනේ බොල රෙද්දෝ ඔය මගුල් ගැන හිතලා මොකක් ද ඇති පලේ?"

'අහ්හ් රය්ට් ර‍යිට් මට අමතක උනා උඹත් අර ඒ තුන දාගන්න රෙදි ලිහන් *ක හෝදන එකෙක් කියලා. යකෝ ඒවා තොගේ මහ ලොකු විභාගෙට වැඩක් නැතිවෙයි. ඒත් තොගෙ ජීවිතේට අනිවා වැදගත්. උඹට මේවා කොච්චර කිව්වත් වැඩක් නෑ. ඊට හොඳයි මී කතුරක තියෙන පොල් කෑල්ලක් දිවෙන් ගන්නවා.'


"මo කොහොම හරි විභාගෙ ගොඩ දාගන්නවා. ඊට පස්සෙ ඔක්කොම හරි නෙ. තොට වෙන්නෙ උඩ බලාගෙන ඉන්න තමයි."


'අහ් හරි උඹ ඉන්ජිනේරුවා. මo රස්තියාදුකාරයා. ඒත් දැනගනින් උඹ මට වඩා ගොඩක් පහළින් ඉන්නෙ. සිරාවටම මට උඹ ගැන පට්ට අනුකම්පාවක් ඇති වෙන්නෙ. මේ අහපන්. උඹ ඒ තුනක් දාගනින්. අනිවා ඒක කරපන්. ඒත් බූරුවො එතකොට ඔක්කොම හරි කියලා හිතන්න එපා.' 


"මොකක් ද ඒ කතාවෙ තේරුම?"

'ඇයි යකෝ ඉන්ජිනේරුවෙක් උනාම උඹේ ජීවිතේ ඉවර වෙනව ද? උඹ තියරි කටපාඩම් කරවන ක්ලාසස් වලට යනවා. බකු වල ඉඳගෙන එකම ගාණ සියපාරක් හදනවා. එහෙම එකෙක්ට මහ ලොකු ඉන්ජිනේරු පට්ටම අරගත්තට පස්සෙ වැඩ කරන්න පුලුවන් කියල ද හිතන්නෙ?'

"ඒක එතකොට නෙ. මo මොන මගුලක් කරල හරි විභාගෙට එන ගාණ හදනවා නෙ. දැන් උඹ කියන විදියට සිද්ධාන්ත ගැන ෆුල් අවබෝධයක් තියෙන පොරක්ට උනත් විභාගෙ ගණ හදාගන්න බැරි උනොත් වැඩක් තියෙනව ද? දීපන්කො උත්තරයක්."

'බූරුවා. යකෝ පනස් දාහක් විභාගෙ ලියනවා. ඇතුළට යන්නෙ එක්දාස් පන්සීයයි. එතකොට ඉතිරි හතලිස් අටදාස් පන්සී‍යට මොකද වෙන්නෙ? උන් *ක කහගෙන මැරෙනව ද? යකෝ ලොකෙ ඉස්සරහට ගියේ විභාග වලින් පාස් වෙච්ච මිනිස්සු නෙවෙයි.'

"උන් මැරෙන්නෙ නෑ. ඒත් උන්ට අර සමාජ තත්වෙට යන්න බැරි වෙනවා." 

'මොකක් ද බන් උඹ ඔය කියන සමාජ තත්වෙ? ඔය ඔක්කොම සාපේක්ෂයි. හැම දේකට ම මුල් වෙන්නෙ මිනිස්සු හිතන විදිය. උඹ ඔය කියන විදියට වෙනව නම් බිල් ගේට්ස් ල, හෙන් රි ෆෝඩ්ල, හොන්ඩ ලා මොකෙක් වත් ලෝකෙ බිහිවෙන්නෙ නෑ.'


"එහෙම එකෙක් දෙන්නෙක් සාර්ථක වෙනවා තමයි. ඒත් බලපන් මගේ ක්‍රමේ අවදානම අඩුයි. බිල් ගේට්ස් ලා ඉන්නේ එක්කෙනයි. ඉතිරි ඔක්කොටම හුලන් තමයි කැම්පස් යන්න බැරි උනොත්. මo කරන්නෙ අවදානම අඩුම, නැතිම දේවල් විතරයි."

'අනේ ලබ්බ තමයි ඉතින්. යකෝ අවදානමක් ගන්නෙ නැතුව මිනිහෙක්ට සාර්ථක වෙන්න බෑ. මo කිව්වයි කියලා හිතාගනින්. උඹ කවදා හරි ඔය ගති නිසා ලෝක අමාරුවක වැටෙනවා.' 

"හරි අපි බලමු දවසක උඹ ද මම ද හරි කියලා."

'රයිට්. එකඟයි. මේකටත් උත්තර දීපන්. ඇයි උඹ සකුනිට ලව් කරන්නෙ? ඒම උඹේ මල ඉලව් ක්‍රමේට පටහැනියි නෙ. ඒකෙ ලොකු අවදානමක් තියෙනව නෙ A තුනට.'

"ඔව් ඒක අවදානමක් තියෙනවා තමයි. ඒත් ඒකෙන් ලැබෙන සතුට ඊට වඩා වැඩියි."

'අහ් එතකොට උඹේ මහ ලොකු තියරි වලට මොකෝ වෙන්නෙ?'

"මo ඒව අවස්ථානුකූලව මට ඕන හැටියට වෙනස් කරගන්නවා. හරි‍යට නිව්ටන් නියම වගේ. අවස්ථිති රාමුවක් ඇතුළෙදි විතරයි සත්‍ය වෙන්නෙ." 

'ඒක නෙ පොල් බූරුවො මo තොට මෙච්චර වෙලා කිව්වෙ. හැමදෙයක් ම සාපේක්ෂයි. දුක, සතුට ඔක්කොම තීරණය වෙන්නෙ අපි හිතන විදිය අනුව. මොකෝ උඹ අලියෙක් පැඩලා වගේ බලන් ඉන්නෙ? :පී මේ අහපන්. මo උඹට යාලුවෙක් විදි‍යට කියන්නෙ. පාඩම් කරපන්. කැම්පස් පලයන්. හීන මවපන්. ලව් කරපන්. උඹට ඕන මගුලක් කරගනින්. ඒත් එක දෙයක් විතරක් මුලු ජීවිතේ ම කියල හිතන්න එපා. මොරටු නැත්නම් හපුගල. ඒකත් නැත්නම් ෆිසිකල්, ඒ එක රෙද්දක් වත් බැරි නම් සෙකන්ඩ් ෂයි. ඕන තරම් හොටල් තියෙනවා පිඟන් හෝදන්න. ඒක දේකින් වත් ජීවිතේ සතුට කියන දේ නැති වෙන්නෙ නෑ. ඔක්කොටම මුල් වෙන්නෙ අපි හිතන විදිය. උඹ තාම ඉන්නෙ අර ටියුෂන් කාරයො මවන හීන ලෝකෙ. කොටින් ම කියනවා නම් "දැක්මෙ මැද පිටුවෙ", මල්ලි අපේ ෆැකල්ටිය මෙහෙමයි අරෙහෙමයි කියල තියෙන ආටිකල් එක උඩ හතරගාතෙ දාලා උඹ ඉන්නෙ. ජීවිතේ කියන්නෙ ඊට වඩා ගොඩක් සoකීර්ණ දෙයක් මචන්. තේරුම් ගනින් පොඩ්ඩක්. දැන් පොඩ්ඩක් හිතපන්. සකුනි බූට් එක තිබ්බොත් උඹට වෙන කෙල්ලෙක් එක්ක ඉන්න පුලුවන් වෙන්න ඕන. උඹට මතක නැද්ද ඉස්සර කලන් කියනව "ජ්ජ්ඣ්ජහ්ජ්ක්ද් " කියල. උඹ මිනිහෙක්. රස්සාවක් කරලා, ගෑනියෙක් එක්ක නිදාගෙන, ළමයි හදලා, උන්ට සබ්බ සකලෙම කොරලා මැරෙනවාට වඩා දෙයක් ජීවිතේ කියන්නෙ. ඒක විඳපන්. හැම ලබ්බක් ගැනම හිතපන්. උඹෙන් මේ ලෝකෙට, මිනිස්සුන්ට වෙන්න ඕන දේ ගැන හිතපන්. ලෝකෙන්, මිනිස්සුන්ගෙන් ගන්න ඕන දේ ගැන හිතපන්.. '

"හ්ම්ම් එතකොට මන් දැන් මොකක් ද කරන්න ඕන?"



'ඒක මගෙන් ද යකෝ අහන්නෙ? බූරුව. ඔන්න තොගේ ගෙදර. බැහැපන් ඔතනින්. ගිහිල්ලා රෙද්දක් පොරවන් නිදාගනින්. එක්කො කකුල් දෙක වතුර බේසමක ඔබන් පාඩම් කොරපන්. '



 :ඩී ඔන්න උන් දෙන්නා කතාකොරලා ඉවරයි. එකෙක් බැහලා ගියා. අනිත් එකා ෂටර් එකෙන් එළිය බලාගෙන හිටියා. ඩ්‍රයිවර් හෙමීට ඇක්සලේටර් එක පාගන්න ගත්තා. එතකොටම වාහනේ දාලා තිබ්බ FM චැනල් එකේ සින්දුවක් පටන් ගත්තා. 


කොහේ ද කොහේ ද අපේ ලොවක්?
කොහේ ද කොහේ ද අපේ රටක්?
මුරකාවල් නැති වැටකොටු බැමි නැති
අපේ ම අපේ ම නවාතැනක්..




ඒ සින්දුව ඩ්‍රයිවර්ට, කාර් එකේ හිටපු යාලුවට, ඒ FM එක අහපු හැමොටම විතරක් නෙවෙයි, මේක ලියපු මට, දැන් මේ කාතාව කියවලා ඉවර කරපු ඔයාට, අපි හැම කෙනෙක්ට ම ඇහුණා. නේ ද? :ඩී 





Tuesday, August 28, 2012

ආයෙමත් ආදරෙන්...!


   මගේ හිතට මහා තනිකමක් දැනෙද්දි, මගේ හිත මටත් හොරෙන්  දුවගෙන ගිහින් ඔබ හිටපු තැනක නතර වුනා. ඉස්සර වාගෙමයි. පුoචි ම වෙනසක් වත් එතන තිබුණෙ නෑ. ඒත් එකම එක වෙනසක් මගේ හිතට තදින් දැනුනා. ඒ ඔබ නැති හිස්කම.. ඔබ මට මුණගැහෙන කොට ඔය ඇස් වල දුක පිරිලා තිබුණා. මොකක් දෝ වේදනාවකින් මූණ මිරිකෙමින් තිබුණා. කතා කරනකොට දුක හoගගෙන, වචන එකතු කර කර පරිස්සමට.. අන්තිමට ඔබ ඇත්තම කිව්වා. "මo මගේ ජීවිතේ අත් ඇරලා දාල තියෙන්නෙ." මo උත්සාහ කරා ඔය හිතට ජීවත් වෙන්න හේතුවක් හදලා දෙන්න. ඒත් අතහැරපු ජීවිතේ ගැන ඔබ නිතර ම කතා කරා. දවසක් ඔබ කෝපි මල් හිනාවක් එක්ක මා ළඟට ඇවිත් "ඔයාට කියන්න, මම ජීවත් වෙන්න තීරණය කරා." ඒ දුක අතහැරපු සතුටට ද, නැත්නම් වෙනත් කාරණාවකට ද කියන්න අදටත් මට බැහැ.. පස්සෙ කාලෙක ඔයා යන්න ගියා. නොකියා ම, නොබලා ම.. සමහර විට ඔබ ඉන්න තැන ඉඳන්  ඔබ අදත් පුටුවකට බර වෙලා මේ කතාව අහගෙන ඉන්නව ඇති, ආයෙමත් ආදරෙන්...!



අද ආයෙමත් ආදරෙන්, ආදරේ ගැන සිහිපත් කරන්නෙ ඇවිත් ඉන්නේ සදාතනික ආදරණීය හිතක්. අඳුරනව ද බලන්න..


අ**** උ**** ආරච්චි


පහුගිය දවසක මම අපි නිතර ම ඇවිදන් ගිය පාරෙ තනියම ඇවිදන් ගියා. වේලිච්ච හුළඟ, වළාකුළු නැති අහස, පාලුවට ගිය පාර.. මගේ තනිකම මට තවත් වැඩි කරා...

ආදරය මුලින් ම හිතට දැනුන දවස මතක ද?


    මගේ කල්පනාවෙ හැටියට නම් ආදරය කියන අකුරු හතර තියෙන මුල් පොත අපිට කියවන්න ලැබෙන්නෙ අම්මාගෙන්. ඊට පස්සෙ තාත්තා, සහොදර සහෝදරියො, නෑදෑයො එකතු වෙලා මේ පොත පෙරලගෙන පෙරලගෙන යනවා. අපේ තරුණ කාලෙට ආවට පස්සෙ නාඳුනන හිතවතෙක්ගෙන් හරි, හිතවතියකගෙන් හරි පෙරලෙන පළවෙනි පළවෙනි පිටුව ම නෙවෙයි ප්‍රථම ප්‍රේමය මo හිතන්නෙ.

    ම්ම් මo දහයෙ පන්තියෙ විතර ඉන්න කාලෙ, එක දවසක්, ගණිතය විෂයට මo ගොඩක් දුර්වල වෙලා හිටපු නිසා අපේ අම්මා මාව ටියුෂන් පන්තියකට එක්කන් ගියා. ඔන්න පන්තිය පටන් අරන් ටික වෙලාවක් යනකොට එක ගෑනු ළමයෙක් සායකුයි, ටී ෂර්ට් එකකුයි ඇඳගෙන පොත් ටිකකුත් තුරුල් කරගෙන හති දාගෙන දුවන් ආවා. එදා ඇයව දැකපුවහම මේ පපුවට දැනුන හැඟීම, අනෙක් අය ගැන මට ඇති වෙලා තිබ්බ හැඟීම් වලට වඩා ගොඩක් වෙනස්. ඉතින් මo තීරණය කළා ඒ ආදරේ වෙන්න ඕන කියල.


කොණ්ඩෙ දෙකරලට බෙදපු, තරු වගේ ඇස් තියෙන, හඳක් වගේ මුහුණක් තියෙන, නා දළුවන් දෙතොලකින් හිනැහෙන, කවියක් වගේ පෙනෙන මුහුණක් නිතරම හිතට ඇවිත් ආපහු නැතුව ගියා.

ආදරෙ කරද්දි හිතට ඇඳුනු රූපයක් තියෙනව ද?

මම එහෙම රූපයක් හෙව්වා කියල හිතෙනවා. අහවල් එකයි කියල ම කියන්න බැහැ. මගේ හිතට ආපු රූපයටම ද මම කැමති උනේ, එහෙම නැත්නම් මගේ හිතේ ඇඳිච්ච රූපය පරමාදර්ශයක් විදියට තවමත් මගේ හිතේ ඉතිරි වෙලා තියෙනව ද, එහෙම නැත්නම් මගේ හිතේ ඇඳිච්ච රූපයට මම කැමති රූප‍ය මම ආදේශ කරගන්නව. මම බලාපොරොත්තුවෙන් හිටියෙ, මගේ හිතේ ඇඳුනෙ මෙයා වෙන්න ඇති කියල මට හිතෙනවා. ඒක හරි සoකීර්ණයි. ඒක ටිකක් සoකීර්ණ කාරණාවක්. නමුත් කැමති අකමැති කියල වර්ග දෙකක් තියෙනව. ඒ දෙකෙන් මටත් පින්තූරයක් ඇඳලා පෙන්නන්න පුලුවන්, මගේ හිතේ උපන් රුව..

ඔයා හැමදාම පන්තියට ආවෙ පරක්කු වෙලා. දුවගෙන දුවගෙන ඇවිත් මo ඉන්න මේසෙට එහා මේසෙන් වාඩිවෙනව. ඊට පස්සෙ කාටත් නොදැනෙන්න හුස්ම ගන්නවා. මo දිහාත් බලනව. එක දවසක් මතක ද මo ඔයාගෙන් අහපු දේ?

ඒකෙ අනිත් පැත්ත. මට ඕන උනා එයාට කියල මට ආදරෙයි කියවගන්න. එයාගෙ ඇස් දෙකෙන්, වචන වලින්, හැසිරෙන විදිහෙන් මම දැක්ක දේ, මම තේරුම් ගත්ත දේ ඇගේ වචන වලින් ම අහගන්න මට ඕන උනා. අන්තිමට ඇය ඒක කිව්ව නෙවෙයි, මගෙන් ඇහුවා ඔයා මට ආදරෙයි ද කියලා. මගේ උත්තර‍ය උනේ "ඒක ඔයා දන්නවා" ;) ඈ කිව්වා ඔව් මම එක දන්නවා කියල. එහම කියලා ඈ ලස්සනට හිනා උනා. මට මතකයි හොඳටම. ;) ඒත් ඒ ආදරේ ගැන දැන් හිතන විදිය ඊට වඩා ගොඩක් වෙනස්. මට දැනෙන විදියට එතන තිබුණෙ "හිමිකර ගැනීම" කියන සoකල්පය. තමන් වෙනුවෙන් කෙනෙක් ඉන්නවා ය කියන සතුටත් එතන තිබුණා. අහන්න අමාරුම ප්‍රශ්නෙට අමාරු ම උත්තරේ දුන්නා වුනා ට ඒ ගැන දැන් හිතෙන්නෙ සහ හිතන්නෙ සම්පුර්ණයෙන් ම වෙනස් විදියකට. :)


ඔයා ළඟ තිබුනා ලස්සන නෝට් පොතක්. මo ඒ පොත අරගෙන ඇහුවා දවසක් කොහෙන් ද ගන්න තියෙන්නෙ කියල. ඔයා හිනා වුනා. පහුවදා මම එනකොට මගේ මේසෙ උඩ තියෙනව පාර්සලයක්. ඔයා හිනා වෙවී හිටියා. ඒ පාර්සලේ ඇතුලෙ තිබුණෙ මම ආසම ඔයාගෙ නෝට් පොත වගේ එකක් නෙවෙයි. ඔයාගෙ පොතමයි...

මතක ද මුලින් ම ආදරේ වෙනුවෙන් ලැබුණු තෑග්ග?

ඒක මට ලැබුනෙ මගේ උපන් දිනේ දවසට කලින් දවසෙ. ඈ මට දුන්න පොඩි නෝට් පොතකුයි, පැන්සලකුයි, සයින් පෙන් එකකුයි. දීල කිව්වා "මේ දේවල් වලින් මම ඔයාට කතාවක් කියනව. මේ වගේ ම නෝට් පොතක් මගේ ළඟත් තියෙනවා. අපි දෙන්නට එකට මූන දෙන්න වෙන හැම දුකකදිම, සතුටකදි ම ඇතිවෙන හැඟීම් ඒ පොතේ අකුරු කරන්න. අපිට අපේ දිනපොත් වෙන්න පුලුවන් දවසක් එයි. එදාට අපි මේ පොත් දෙකම එකට තියල කියවමු. මේ පෑන ඔයාට දෙන්නෙ පෑනකින් කරන්න ගොඩක් වැදගත් දෙයක් තියෙනවා කියලා මතක් කරන්න. මේ පැන්සල මම  ගොඩක් ආස කරන වර්ගෙ එකක්." එදා ඒ තෑගි වල භෞතිකමය වටිණාකමට වඩා දෙයක් මට දැනුනා. ඈ හරිම නිර්මාණාත්මකයි. ඒ තෑගි වලින් හුවමාරු වෙච්ච හැඟීම් සදාකාලිකවම මතකයේ තියෙනවා. :)

ඔයා නැති හැම වෙලාවක ම මුමුණන්න ගීතයකුත් අරගෙනයි ආවෙ. 

මතක ද ආදරය වෙනුවෙන් මුමුණපු ගීත?

ගීත නම් ගොඩාක් තියෙනවා. ඇයත් මම වගේම සoගීතය ට ගොඩක් ප්‍රිය කරපු කෙනෙක්. අපි එකතුවෙලා ගොඩක් දවස් වල ගීත ගායනා කරා. ගිටාරෙකුත් තියන් ගත කරපු හැන්දෑවන් මට මැවිලා පේනවා වගේ. ආදරවන්තයො ගොඩක් ම කැමති වියෝ දුක ගැන තියෙන ගීත වලට මම හිතන විදියට. වියෝ වෙලා නොසිටියත් අපි විරහ ගීත නිතරම ගායනා කරා. ඒකෙන් බලාපොරොත්තු උනේ මොකක් ද කියන්න නම් තේරෙන්නෙ නෑ. සමහර විට හැඟීම් වලින් පපුව පුරවගෙන ඉන්න තිබ්බ ආශාව වෙන්න ඇති. ඔය අතරෙන් You Raise Me Up ගීතයට අපි දෙන්නම ගොඩාක් ආස කලා මතකයි.



ඉස්සර රැයක් රෑ වෙනකන් ඔබ ගැන සිහි කර කර ඉන්න මම මගේ ඇස් වලින් නිදිමත බේරෙන්න තියෙනකොට මගේ හිත ආදරෙන් පිරිලා ආදර හැඟුම් ලියුමක ලියනවා. පහුවෙනිදට ඒ ලියුම ඔයාගෙ පොතක් අස්සට දාල , පැත්තක ඉඳන් හොරෙන් බලන් ඉන්නවා.

මතක ද ආදරේ වෙනුවෙන් ඉස් ඉස්සෙල්ලාම ලියපු දේ?


මම ඉස්සෙල්ලා ම ආදරේ ගැන ලියපු දේ ගැන නම් මට පැහැදිලි මතකයක් නෑ. මo හිතන්නෙ සමහර විට මම ඇගේ සුන්දරත්වය ගැන හෝ ආදරයේ මිහිරියාව ගැන ලියන්න ඇති. ඒත් ඇගෙන් මට ලැබුණ පලවෙනි කෙටි පණිවිඩය නම් හොඳට මතකයි.
"හැඟුමන් දහසක් සිත් මල තවරා
නුබ ගැබ සරනා හිරු ද සඳු ද ඔබ?
සිතිජ‍ය අබියස සැඟවීගෙන යන
හිරු හෝ සඳු නොව ඔබ මගේ ලොව තුළ
නැත උපමා තව ඔබ ගෙන ඒමට
ලොව දුහුවිල්ලකි ඔබ පා යුග ළඟ.."

එක ලස්සන දවසක ඔබ මගෙත් එක්ක අමනාප වුනා. කිසිම හේතුවක් නැතුව. ඊට පස්සෙ වචනයක්වත් නොකිය ඔබ යන්න ගියා. එදා මo මගේ හිතත් එක්ක තනියට හොඳටම වැලපුනා. 

ආදරය වෙනුවෙන් අඬපු දවසක් තියෙනව ද?

අපොයි ඔව්. අනන්තවත් අඬලා තියෙනව ආදරේ වෙනුවෙන්. ඒ ඇඬිලි වලට සීමාවක් නෑ. මo හිතන්නේ හැඟීම්බර ආදරවන්තයො සන්තෝසෙට වඩා දුකට කැමතියි. දුක හොයනවා. දුක් වුනාම තමයි මම ඇයට ආදරෙයි කියල මට ම ඔප්පු වෙන්නෙ. ඒ නිසා මම ඇය වෙනුවෙන් හරියට දුක් විඳලා තියෙනව, හරියට වේදනා විඳලා තියෙනවා. ඒ ඇය මට කරපු කිසියම් වරදක් නිසා නොවෙයි. සුළු සුළු කාරණා ඔස්සේ හරියට හිත රිදෙනවා. හිත රිදුනාම අඬනවා. ඇඬෙනවා. එහෙම ඇඬුනා ම, හිත රිදුනා ම ආපස්සට තේරුම් ගන්නවා මගේ හිත එහෙම රිදුනේ ඇයි? ඇය කෙරෙහි මගේ හිතේ තිබුණ ආදරය නිසා තමා මගේ හිත රිදුනේ. ඒ නිසා තවත් ඇයට ආදරය වැඩි වෙනව. ආදරේ කියන්නෙ සතුටට වඩා දුකත් එක්ක මිශ්‍ර වෙච්ච කතන්දරයක්. 

ජීවිතය අතහැරල දාල හිටපු ඔයාට ජීවිතේ හොයල දීපු මo අන්තිමට මගේ ජීවිතේ ඇතුළෙම තනි වුනා. මට මගේ ජීවිතේ නැති වුනා වගේ දැනෙන්න පටන් ගත්තා. මගේ හිත අන්තිමට පිරිමැද්දෙ විරහ ගීත විතරයි. 

අදරයේ වියෝවට මුමුණපු දුක් ගීය මතක ද?



එකක් කියල කියන්න අමාරුයි. විරහ වේදනා විඳීම තුලින් මගේ සoගීත රුචිකත්වය වෙනස් ම දිශාවකට හැරුනා කියල කියන්න පුලුවන්. මොකද ඒ වෙනකන් "හෙවි මෙට්ල්", "රෙගේ" වගේ සoගීත භාවිතාවන්ට හිර වෙලා හිටපු මම ඉන් පස්සෙ සිoහල සම්භාව්‍ය ගීත වලට ඇදිලා ගියා. නන්දා මාලිනී, ගුණදාස කපුගේ, මිල්ටන් පෙරේරා, පණ්ඩිත් අමරදේව වගේ මහා ගායකයොන්ගෙ ගීත මගේ ගිනි අරගෙන තිබ්බ හිත නිවන්න ගොඩක් වැඩ කළා. ඒත් එක්ක ම විරහා වේදනාව, ස0ගීතයත් එක්ක මුසු කරලා රසවිඳින්න මට පුලුවන් උනා. ඔය අතරින් දයාන් විතාරණගෙ එක ගීයක් දැනුත් මම නිතරම මුමුණනවා.

"අදින් පසු ඔබ, ඔබට හිමි මග
ඉතින් මා මට උරුම තනි මග
ආයෙමත් හමුවන තුරා
දෙතැන ඉමු අපි මග බලා..."


හැමදේම නැති වුනා වගේ දැනුනත්, අදටත් මම කොහොම හරි හිත හදාගෙන ජීවත් වෙනව. ඔබව මතක් වෙන හැමවෙලාවෙම හිත දුකෙන් පිරෙනවා. ඒත් අදටත් මම කොහොමහරි හැමෝම වෙනුවෙන් ජීවත් වෙනවා.

ආදරෙන් පස්සෙ ජීවිතේ ට ලැබුණු දේවල් මොනවද?


  ඒ ආදරෙන් පස්සෙ ඉතින් තව කෙනෙකුට ආදර‍ය කරා. ඉතින් ඒක තමයි මනුෂ්‍ය ස්වභාවය. ඒක හරියට.. පුoචි ළමයෙක් සරුoගලයක් මහන්සියෙන් හදලා, රැලි අලවලා, ඒක උඩ යනව බලලා සන්තෝස වෙලා අන්තිමට තමන් දන්නෙ ම නෑ ඒක කඩාගෙන යනව සුළඟට අහුවෙලා එක්තරා තැනකදි. ඊට පස්සෙ ඉතින් ළමයා අඬලා, දොඩලා, දුක් වෙලා ආයෙ ඉතින් ඊලඟ සරුoගල් කාලෙ එනකොට ආයෙ එකක් හදනවා. ඒක අමතකයි. ආයෙ ඉතින් ඔය සරුoගලෙත් කඩාගෙන යනවා. ඒක තියාගන්න බෑ. ඉතින් ඒක තමයි මම හිතන්නෙ තේරුම් ගන්න ඕන දේ කියල මටැ හිතුනෙ.ඉතින් කඩාගෙන යන බව දැන දැන අපි සරු0ගල් හදනවා ඉතින්.
  තව එකක් තමයි මේ සoවේදනා. අවoකව සoවේදනා භුක්ති විඳිනකොට ඒක හරි පිරිසිඳුයි. ඒක හරි ගැඹුරුයි. ඒක හරි උකුයි. ඒක හරි ඝණයි කියලා දැනගැනීම; මානව සම්බන්ධතා වල ඉම කොහෙද කියලා දාර්ශනිකව හිතන්න යොමුවීම; මිනිසුන්, මිනිසුන් මිනිසුන් අතර, මිනිසුන් ගැහනුන් අතර තියෙන මානව සම්බන්ධතා කොයි තරම් ගැඹුරු ද; ඒ නිසා ආදරය මේ ලෝකය පවත්වාගන්නට කොයි තරම් අවශ්‍ය ද; ආදරය නොමැති ලොවක් මොන තරම් විකෘති ලොවක් බවට පත් වෙයි ද; මොන තරම් රුදුරු, කුරිරු, භයානක, වියළි ලොවක් බවට පත් වෙයි ද ආදරය නොතිබුණා නම් ඒ නිසා ආදරයට ආදරය කළ යුතුයි, ජීවිතය පවත්වා ගන්නට නම්.. කියන උපදේශය මට මා තුළ ම පසක් වුනේ මා විඳි ආදරය නිසා මයි.


ආදරේ ගැන නිර්වචනයක් තියෙනව ද?

මo ආදරේට දෙන නිර්වචනය ආදරය ම තමයි. මොකෝ ආදරේ කියන්නෙ මහ පුදුමාකාර, ඒ වගේ ම සoකීර්ණ, මෙහෙමයි කියල විස්තර කරන්න අමාරු දෙයක්. කරුණාව, සෙනෙහස, රාගය, පරිත්‍යාගය, දයාව, ඉවසීම, කැපකිරීම, ලෝබකම.. වගේ එකී මෙකී නොකී සoරචක කියන්න බැරි තරමක් මෙන්න මේ ආදරේ ඇතුළෙ තියෙනවා. ආදරෙයේ තියෙන මේ දේවල් ඉස්මතු කරන්න, ඉස්මතු වෙන්න ඕන සහ සුදුසු අවස්ථාවන් හඳුනාගන්න යම් කෙනෙක්ට තියෙන හැකියාව මත තමයි ඔහුගේ හෝ ඇයගේ ආදරයේ ස්වභාවය තීරණය වෙන්නෙ. ඉතින් අපි කරන්න ඕන මේ අවස්ථා හඳුනාගැනීම හා ඒ සම්බන්ධ කුසලතාවය වර්ධනය කරගන්න එක. ඔය කාරණේට කෙනෙක් ගෙ ඉවසීම, බුද්ධි මට්ටම, සමාජ පරිසරය වගේ කාරණා බලපාන්න පුලුවන්. ඔන්න ඔහොමයි මම ආදරේට දෙන නිර්වචනෙ.

තව එක දෙයක් තියෙනව කියන්න. මගේ මිත්‍රයෙකුගෙ ආදර කතාවක ඉවර නොවූ තැනක් තියෙනව. මීට වසර ගණනාවකට කලින් ඇයට ආදරය කළ ඔහුට ඇය කැමැත්ත පළ කළ දින පටන් අද වන තුරු ඔහුට ඇය හමු වී නෑ. ආදරයේ අරුමය ද ඒ? අපට කියු ලෙසින් ඇගේ නම එහෙමත් නැත්නම් මේ කතා කරන ඔබේ නම "අයිෂ්වරී"...

ඔයා පුටුවකට බර වෙලා, ඇස් කඳුලකට බර කරගෙන, හිත සුසුමකට හිර කරගෙන බලන් ඉන්නව කියලා මම දන්නව. ළඟ ඉන්න කෙනාට නොපෙනෙන්න ඔය කඳුළු කැට පිහිදා ගන්නව කියලත් මම දන්නවා. මට පුලුවන් වුනා ජීවිතේ ආයෙමත් හොයල දෙන්න. ඔබ මo ළඟ නොසිටියත් අද ඔබ සතුටෙන් ඉන්න එක මට ලොකු සතුටක්. ඉතින් ඔබ හොඳින් නම් එය ඔබට කළ ආදරය තරම් ම විශාල සතුටක්..



එහෙමනම් ආයෙමත් දවසක, ආදරණීය හදවතක් එක්ක ආදරෙන් හමුවෙන්න ආයෙමත් එන්නම්. ගිහින් එන්නම්..

ආයෙමත් ආදරෙන්...!






හිරු ටීවී නාළිකාවේ විකාශය වන "ආයෙමත් ආදරෙන්" වැඩසටහනෙහි අනුවර්තනයකි.


Sunday, August 12, 2012

මතක සැමරුම

  "ඔහු ඇයට පෙම් කළා. ඇයත් ඔහුට ඒ ලෙස ම පෙම් කළා. ඒත් ඒ මීට වසර ගණනක් එහා අතීතයේ සිද්ධ වුන දෙයක්. අද ඇය අන් සතු වෙලා. ඔහු තව ම තනිකඩයි. එක්තරා දවසක ඔහු කල්පනා කරනවා තමන් ගෙවූ ජීවිතය, මතක සැමරුම් ගැන. එතකොට ඔහුට සිහිවෙනවා ඔහුගේ මිය ගිය ප්‍රේමය. ඔහුට සිතෙනවා ඇයව සොයා යන්න. ඔහුට දැන ගැනීමට අවශ්‍ය වෙනවා දැනගැනීමට ඇය සැබවින්ම ඔහුට පෙම් කළේ ද යන වග. තමන්ගේ මතක සැමරුම් අතර ඇය නිධන් ව සිටිනා ආකාරයටම ඔහුගේ මතක සටහන් ඇගේ සිතෙහි පවතින්නේ ද කියා ඔහු සිතනවා. ඔහු ඇය සොයා යනවා. ඇගේ නිවසේ කඩුල්ල ළඟ ඔහු සිට ගන්නවා. ඇය තම නිවසේ පිළෙහි සිට තම කිරිකැටි පුතු නළවනවා. ඒ නිකන් ම නෙවෙයි. ඇය නැළවිලි ගීයක් ද ගායනා කරනවා. ඔහු ආපසු හැරෙනවා. තමන් පෙම් කළ යුවතිය වෙනෙකෙකුගේ දරුවෙකු නළවමින් සිටියත් ඔහු සතුටු වෙනවා. ඔහුගේ මුහුණ ඔහුගේ සතුට කෑ ගහල කියනවා. ඔහු ඇය සොයා පැමිණි කාරනය ඉටු වෙලා. ඔහුට පැහැදිලියි තමාගේ මතකයන් ඈ තුළ තිබෙන බව. ඒත් ඒ කොහොම ද? ඔහු හා ඇය පෙම් කළ සමයේ ඔහු විසින් අවදි කෙරුනු සෞන්දර්‍යාත්මක  සිතුවිලි ඔහු, ඇය තම පුතු නැළවීමට ගායනා කරන නැළවිළි ගීය තුළින් දකිනවා. එය තමාගේම ගීයක් ලෙස, තමාගේ ම සිතුවිල්ලක් ලෙස ඔහුට දැනෙනවා. ඔහු සතුටු සිතින් ආපසු හැරී පියමන් කරනවා. ඇගේ.. නෑ, ඔහුගේ.. නෑ නෑ ඔවුන්ගේ නැළවිලි ගීය ඈතින් ඈතට යන තෙක් ඔහුට ඇසෙනවා..."

   බොහෝමයක් ගීත ඇතුළෙ අපි හිතන්නෙවත් නැති විදියෙ නිධාන කතා තියෙනවනෙ. මේකත් එහෙම එකක් තමයි. දැන් ඔයාල කතාව කියෙව්ව නෙ. මේක තමයි ඔය කතාවෙ ඉන්න කතා නායකය, ඔන්න ඔය කතාව ම ගීයකට හරවන ආකාරය..


පෙර දිනයක මා පෙම් කළ යුවතිය
සිය පුතු නළවනවා
මගේ ම ගීයක් නැළවිලි ස්වරයෙන් 
ඈතින් මතු වෙනවා


නුරාව වෙනුවට ඉඳුනිල් දෙනුවන
දයාව වෑහෙනවා
සිනාසුනෙමි මම අවිහිoසක ඇය
කෝළ බැලුම් හෙලුවා


හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා
නෙත් අදහා ගන්නට බැරි ලෙස රූ සිරි
කෙමෙන් මැකී යනවා


එදා වගේ තවමත් වැට අද්දර 
නා මල් පූදිනවා
නොකා නොබී දුක් වින්ද අතීතය
යළි මට සිහිවෙනවා





Monday, July 30, 2012

"හිනහේවී බෝනික්කා ඇස් නටවා බල බලා.."

       "පළවෙනි වතාවෙ මේ දේම සිද්ද වෙනකොට මගේ වයස අවුරුදු දාහතයි. එතකොට හිටියෙ ලoකාවෙ. ඉස්කෝලෙ යන කාලෙ. ඒක තමයි මුල. ඒක විතරකුත් නෙවෙයි. තව හුඟක් දේවල්. මේ දෙවෙනි වතාව. මම ඉන්නෙ නින්දෙන්ද අවදියෙන් ද කියල දන්නෙ නෑ. සිහි ඇත්තෙත් නැති නැත්තෙත් නැති අමුතු පාවෙන ගතියක්. හීනෙන්ද- හැබැහින් ද? සිහි නැති කරන්න ඇති. ඒත් සිහිය වළාකුලක් වගේ මගේ හිස වටේ කරකැවෙනවා. කතා කරන සද්ද ඇහෙනවා. කතා කරන්නෙ රහස්. වතුර සද්ද ඇහෙනවා. හැඳි. වළo, වීදුරු ගැටෙන සද්ද. ඒ සද්ද කොපමණ වෙලාවක් තිබුණ ද-කොපමණ වෙලාවකින් ඉවර වුණා ද කියලා කාල රේඛාවකින් වෙන් කරගන්න තරම් හිත අවදියෙන් හිටියෙ නැහැ. ඒ සද්ද බද්ද ඉවර වුණහම මම හීනයක් දැක්කා. මේට කලින් හැඩහුරුකම් නොදන්න සතෙකුගේ මූණ කැරකිලා කැරකිලා, සුළියක් වගේ. හරියට මඩ සුළියක් වගේ මගේ ඉදිරිපිට. තවම කැරකැවෙනවා. ඒ මඩ සුළියට ලෝකෙම ගහගෙන ආවා. මම හීනෙන් එක්ක කතා කර කර හිටියා.







       එයා මගේ දරුවා. ඉපදුණේ නැති දරුවා. එයා මගේ දරුවා කියලා මම දැනගෙන හිටියා. මූණ කට හොඳට වෙන් වෙලා හැදිලා වැඩිලා තිබුණා. පෙකණිවැල තාම මගේ දරුවව මට අල්ලලා දීල තිබුණා. එයා මගේ දරුවා. අත්දෙක ගුලිකරගෙන නිසොල්මනේ ඉන්න බැරි බව එයාට ඉවෙන් වගේ දැනෙමින් තිබුණ බව පෙනුණා. ඒ සිඟිති දෑත් කුස තුළම ඉබේ ම ඉහළට එසවිලා ආරක්ශාවක් හොයනවා ඇත්. ගෑනුද, පිරිමි ද කියලා පෙනුණෙ නැහැ. මහා සුළඟක් මහා වේගෙකින් දරුගැබ ඇතුළට ආවා. මඩ සුළියක් එක්ක. මගේ දරුවගේ මූණ අතපය සුළඟට විරූප වෙලා යනවා. දරුවා ඒ මහා සුළo කෝඩයට මූණ දෙන්න දැනගෙන හිටියෙ නැහැ. මාස ගණනාවක් උණුසුමට හිටපු ස්ථානෙකට මේ වගේ සුළිසුළඟක් ඒවි කියල තේරුම් ගන්න දරුවට බැහැ. මඩ සුළියක් එක්ක ම දරුවා කෑලි කෑලිවලට කැඩිලා අවසානෙට මගේ කුස අතඇරල යනකොට මගේ එක දණහිසක් අනෙක් දණහිසේ වැදුණා. ඒ දරුවා යන බව කියන්න වෙන්න ඇති. අනේ අම්මා මාව බේරගන්න කියලා දරුවා කෑගහලා අඬනවා හීනෙන් වගේ ඇහුණා. මහා හුළඟක් කුස ඇතුළට විදපු උපකරණය මගේ දරුවාව හොය හොයා අහුමුල්ලක් නෑර ගිය හැටි, මහා භූමිකම්පාවක මුල, අද වගේ මතකයි. මූණ අතපය සුළඟට විරූපී වෙලා යනවා. ඇයි මට මෙහෙම කරන්නෙ කියලා දරුවා අහන්න ඇති. මගේ දරුවා ආදරය, උණුසුම, ආරක්ශාව තිබුණය කියලා හිතපු ඉහළම තැනක ඉඳගෙන ඒ මහා සුළඟට අහුනොවෙන්න අප්‍රමාණ වෙහෙසක් ගන්න ඇති. මගේ දරුවා බඩෙන් එළියට ඇදලා දානකල් මම සිහි ඇති නැති මැද්දෙ නිදියගෙන හිටියා. ඒ වෙලාවෙ දැනුනෙ දුකක් ද? කලකිරීමක් ද? වේදනාවක් ද? දරුවා එළියට විසි කළෙ, දරුවාගේ කෑලි කෑලි භාජනයකට එකතු කළේ සතුටක්, නිදහසක්, සොම්නසක් ලබන්නද? ආයෙ කවදාවත් ඒ වගේ දුකක් දැනෙන්න එපා. කියලා හිතුවට මුළු සoසාරෙට ම ඒ දුක ගෙනියන බව දැනුණා. මට හැඟීම්, දැනීම් දැනුනෙ හිතට විතරයි. ශාරීරික වේදනාව සදහටම නෙවෙයි. හිතට දැනුණු, හිත අතහැර නොයන දුක සදහටමයි. හිත මුළු ශරීරය පුරා දුවමින් හිටියා.


     මගේ දරුවා ශාරීරිකව වින්දා. උපදින්නත් කලින් ම දරුවා. මමයි, දරුවගී ජීව විද්‍යාත්මක පියායි කළ වරදට දඬුවම් වින්දා. මාස තුනකට ටිකක් වැඩිය කුස යහනෙ වැඩෙමින් හිටියා. දොස්තර කිව්වෙ නිරෝගී දරුවෙක් වැඩෙමින් ඉන්නවා කියලා. උපදින්න දින දීලා තිබුණෙ මැයි පස් වෙනිදට. ජපානයේ ළමා දිනය. ඔක්තෝබර් දහනව වැනිදා ඒ මහා සුළි සුළඟ ආවෙ. වියදම මන් පහළොවක්. රුපියල් වලින් නම් ලක්ෂ එකහමාරක්...."




    හෝව්! හෝව්!! පොඩ්ඩක් ඉන්න.. ලෝකෙ ජාති දෙකක මිනිස්සු ඉන්නවා. කට්ටියක් මේ පෝස්ට් එකෙ මීට පේලියක් උඩට වෙනකන් කියවල ඇස් තෙත් කරගෙන මේ මොකක් ද මේ කියල හිතනව. අනිත් ජාතිය මේක මීට කලින් කියවල තියෙනව. දෙවෙනි ජාතියෙ අය මට සමාවෙන්න ඔයාලගෙ කාලෙ නාස්ති කරන වැඩක් කරා නම්. දැන් මම කතා කරන්න අර පළවෙනි ජාතියෙ අයටයි.මේ කොටස මම උපුටල ගත්තෙ "කන්දක් සේ මා" "සුමිත්‍රා රාහුබද්ධ"ගෙ පොතෙන්. මේ පොතට 2010 අවුරුද්දෙ ස්වර්ණ පුස්තක සම්මානය, විද්‍යෝදය සාහිත්‍ය සම්මානය. ගොඩගේ සාහිත්‍ය සම්මානය, රාජ්‍ය සාහිත්‍ය සම්මානය, අලුත් පියාපත් සම්මානය කියන සම්මාන ඔක්කොම හම්බ වුනා. මේක ඇවිත් සිරාම සිරා පොතක් වෙන්න ම ඕන කියල දැන් ඔයාලට හිතෙනව නේ.


   ගබ්සාව නීති විරෝධී දෙයක් ද, නීතිගත කරන්න ඕන දෙයක් ද කියන එකට ඔයාලටත් පෞද්ගලික මතයක් ඇති නේ. මම නම් හිතන්නෙ ඒක දිහා අපි බලන්න ඕන සාපේක්ෂව. මොකද හැමදේකම දෙපැත්තක් තියෙනව නෙ. ඒ දෙපැත්තම දකින්න පුලුවන් වෙන විදියට අපේ ඇස් පුරුදු කරගන්න එක තමයි අපි කරන්න ඕන. (මo මේව පොර වගේ කිව්වට මාත් ඉගෙන ගත්තෙ කොන්ඩෙ මල් ගහපු ගර්ල් කෙනෙක් ගෙන් :ඩී) සුමිත්‍රා රහුබද්ධ මෙන්න මේ කතාව හරිම ලස්සනට ඒ වගේ ම හිතට වදින විදියට "කන්දක් සේ මා" පිටු, පේලි අතරින් පෙන්නනවා. ආදරය, රාගය, ලිoගිකත්වය වගේ ම ල0කාවේ වගේම  ජපානෙත් සමාජ, ආර්ථික තල අස්සෙන් රිoගල ගිහින් මහ අමුතු, ඒ වගේම සිරා කතාවක් අපි, "රීඩකය"( රීඩර්) ඉස්සරහ මැවෙනව. 



    හිනහේවී බෝනික්කා ඇස් නටවා බල බලා" කියල අපි පොඩි කාලෙ අත්පුඩි ගහ ගහා කිව්වට ඒ ගැන ගැඹුරෙන් හිතන්න අපි පොඩි වැඩි වුනා නේ. දැන් ඒකට කාලෙ ඇවිත් කියල හිතනව නම් දැන් ඇස් දෙක වහගන්න... ඔයාට කල්පනා වෙන දේවල් හිතේ කොනක ලියාගන්න... :)

Saturday, July 21, 2012

"කිරි පෙවූ දරුවනේ කොහි ගියෙද නුඹලා?"


මීට ටික දවසකට කලින් රෑක අපි හිටියෙ ප්‍රදීපා ධර්මදාසගෙ කොන්ස(ර්)ට් එකක් බලමින්. එක සින්දුවක් ඉවර වෙලා තවත් සින්දුවක් පටන් ගන්න අතරතුර පොඩි බ්‍රේක් එකක් එනවනෙ. ඒ අතරතුර මගෙ අම්ම කනට කොඳුරල කිව්ව කතාවකින් තමයි මම මේක් පටන් ගන්නෙ. 
  "ඉස්සර ප්‍රදීප කියන්නෙ රැඩිකල් මොඩ්ල් එකේ ගායිකාවක්, ඒත් දැන් මෙයා පවතින ක්‍රමේට හැඩගැහිල"

 "මොකක් ද ඒකෙ තේරුම?"

 " නෑ නෑ ඉස්සර මෙයාගෙ සින්දු තහනම් වෙනවා, කොන්සට් තහනම් වෙනව. ඒත් දැන් ඒ මොකවත් නෑ නෙ. දැන් මෙයා මහරජාගෙ ආණ්ඩුවට මොකවත් කියන්නෙ නෑ නෙ."

   එතකොටම අර තට්ට ඔලුවකුයි, පට්ට ම පට්ට වොයිස් එකකුයි තියෙන නිවේදකය කලුවර අස්සෙන් වැදුන "ස්පොට් ලයිට්" එකක් අස්සෙන් මතු උනා. ඔහු බොහොම බැරැරුම් මූනක් මවා ගෙන "අතුරුදන් වීම හා අතුරුදන් කරවීම" කියල බිම බලා ගත්ත. ස්පොට් එකත් නිවුනා. ඊට පස්සෙ ෆ්ලූට් එකක් එක්ක බැක් කරපු මියුසික් එකක් අස්සෙන් අර "ස්පොට් එකෙන්" ම ප්‍රදීප මතු උනා. 



 
"ආකහේ කලු ම කලු සළු එළා තිබුණා,
රෑ පුරා උළ ලේනි දෑස රතු කෙරුවා
හාමතේ දිය පොදක් උගුර හිර කෙරුවා
කිරි පෙවූ දරුවනේ කොහි ගියෙද නුඹලා?

අතුරුදන් වුනා තාරකාවක් අහස් කුසේ
අතුරුදන් වුනා මල් කැකුළු චණ්ඩ මාරුතේ
අතුරුදන් වුනා යැයි මුසා නොකියවු මිනිසුනේ
අතුරුදන් කළා මපුතුන් සොරාගෙන ජීවිතේ

ගම් දොරේ දරුවන්ගේ කිරි සිනා ඇසෙනා
   තුන් යමේ නෙත් පුරා දුටු සිහින පමණක්
   මන්සලේ ගිනිමැලේ සදාකල් ඇවිලෙනා
      ජාතියක් වැදූ කුස ජාති ජාතිත් කකියනා..."


  ඇල්ටො, සොප්‍රානො පරාසෙට ඒ සින්දුවෙදි ප්‍රදීප නොගියට ඒ වචන මගේ හිතත් එක්ක කෙලින් ම කතා කරා. අර අම්ම කියපු "රැඩිකල් ප්‍රවේශය" මොකක් ද කියල මට තේරුම් ගියා. ඒ සින්දුවෙ වචන දිගේ මo දිගටම කල්පනා කරා. ඒතකොට මේන්න "මහාචාර්ය උස්වත්තෙ ආරච්චි" ඉස්සරහට හම්බ උනා. එයා එක පාරක් කෑම මේසෙදි  මගේ "දේශප්‍රේමී ටෝක්" එකක් ඉස්සරහ "ලoකාවෙන් පිට වෙන්න හේතු දාහක් හොයගන්න පුලුවන්. ඒත් මේ රටේ ඉන්න, මෙහේට වැඩ කරන්න එක හේතුවක් හොයගන්න අමාරුයි" කියල බොහොම හැඟීම් බරව කිව්ව විදිය මට මතක් උනා. මෙන්න ඊට පස්සෙ "අටවක පුත්තු" අර මහගෙදර (ගම්පෙරලියෙ) ඉස්තෝප්පුවෙ තියෙනව වගේ කනප්පුවක් උඩ තියෙනව. මo ගිහින් ඒක අතට අරගෙන නිකමට වගේ පෙරලුව. පෙරලගෙන පෙරලගෙන ගිහින් මම නැවතුනෙ දෙසිය තුන්වෙනි පිටුවෙ. 


      "පනස් හයේ ඔහු උපදිනකොට, සින්හල බෞද්ධ ස්වර්ණමය යුගය උදා වෙලා, දෙමළටත් දෙවෙනි වෙලා හිටපු බෞද්ධයො දියසේන කුමාරයත් එක්ක එකතු වෙලා දෙමළ ගෙවල් ගිනි තිබ්බා. ඔහු ඒ හින්දා කෑ ගහල ඇඬුවා. ඔහුගෙ තුන්වෙනි උපන්දිනේට වෙඩි සද්ද පූජාවක් තියන්න හිතපු හාමුදුරුවෙක් අගමැතිට වෙඩි තියල බුද්ධ සාසනෙත් බේරුව. "හොරිකඩ ගෙරිගනය". ඔහු උසස්පෙළ පන්තියට තේරෙන්නා අසමත් උන තරහට හැත්තෑ එකේ කොල්ලො පොලීසියට වෙඩි තිබ්බා. පාළo ගාව කොල්ලොන්ට වෙඩි තියල  ගඟේ පා කරල ඇරල "තේගුරා බල්ලො" "සිරිම හීරි යකින්න" දෙසැරයක් ම තැත් කරල ඔහු කැම්පස් තේරෙන කොට, ගමේ ශ්‍රී ලoකා ගෙවල් සේරම, තමන්ගෙ ගෙදරත් එක්ක ම අසූචි වලින් නෑවුනා. ඔහු සහකාර කථිකාචාර්යවරයෙක් උන එක සමරන්න සිoහල මැරයො ආයෙත් දෙමළ ගෙවල් ගිනි තියල ජූලියක් ම කලු කරල මුලු රටක් ම අලු කෙරුව. මේ ඊයෙ පෙරේදා තමන්ට ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය පදවිය ලැබීම සමරන්න ආයෙත් රට ගිනිගන්න පටන් අරන්. මහ විනාසයක් අත ලඟ..."


    මo ඒක කියවන දිහා "කැප්ටන් ගයාන් බෝපගේ" (මගේ ඤාති සහෝදරයෙකි. ඔහු මුහමාලේ ඉදිරි ආරක්ශක වළල්ලේ දී දිවි පිදුවේ ය.) මගේ දිහා හිනා වෙවී බලන් හිටිය. ඒ විතරක් ය. මන් පොටෝ එකකින් විතරක් දැකල  තියෙන ජේවීපී එකෙන් "යුඇන්පී" කාරයෙක් උන වරදට මරල දාපු සෝමෙ මාමයි, යූඇන්පී ඇමතියෙක් ගෙ පෞද්ගලික මැර හමුදාවකින්, අoක තහඩු නැති වාහනයකි අතුරුදන් කරපු මනුර බාප්පයිත් කැප්ටන් ගෙ පිටිපස්සෙන් හිනා වෙවී හිටිය. මන් වැඩ කරපු NGO එකෙන් උදව් කරපු නඩුවක් නැතුව බූස්සෙ කෑම්ප් එකේ හිරකරන් ඉන්න එල්ටීටීඊ සැකකාර තාත්තගෙ චූටි දූ, "රන්දා" ත් කොහේ ද ඉඳල හිනාවෙවී මගේ ඉස්සරහට දුවගෙන ආව.  

   එක පාරත ම ම කාලගෝට්ටියක් ඇහෙන්න ගත්ත. මෙන්න බොලේ "රෙජිනෝල්ඩ් රෝස්"ගෙ "Twelve Angry Men" මගෙ පිටිපස්සෙ. ඒ වෙලාවෙ මන් හිටියෙ කොහෙද කියල නම් දැන් හරියට මතක නෑ. 


   "තමුසෙල දැන ගන්නවා හොඳයි මේ අපි දොළොස්දෙනා ගන්න තීරණය මත තමයි තරුණ ජීවිතේක අනාගතේ රැඳිල තියෙන්නෙ. අද රෑ එළි වෙනකන් හරි අපි කතා කරන්න ඕන. තරුන ජීවිතේක අනාගෙතේ ගැන ගන්න තීරණයක වැදගත්ම තේරුම් ගන්නවල හොඳයි." 

 අර "Twelve Angry Men" එකේ තොප්පියක් දාගත්ත මහත්තය "ජූරි සභාව" තිබ්බ කාමරේ වටේ හැතැක්මක් විතර ඇවිද ඇවිද හෙන සීරියස් මූනකින් කිව්ව. 

    එතකොටම මගේ මුලු ඇඟේම තිබ්බ ලේ රත් වෙලා එක පාරටම පපුවට ගලාගෙන එනව මට දැනුන. කොහේ තිබිල ආවද දන්නෙ නැති කේන්තියකුයි, දුකකුයි, වචනෙන් කියන්න අමාරු වේදනාවකුයි මගෙ ඇඟ හිරි වැට්ටුව. 

මොන හු****ක් ද යකෝ ඕක මෙතන ඉඳන් කියවන්නෙ. ඕක ගිහිල්ල කියාපන් මේ රටට අවුරුදු හැටක් තිස්සෙ  (*)කන දේශපාලුවොන්ට. එල්ටීටීඊ, චේගුරා, ජෙප්පො, හූඇන්පී, ශ්‍රීල0කා, තම්බි, මොකා උනත් උන් මේ රටේ දරුවො බොලව්! මෙතන ඉඳන් අහවල් මගුලක් කරනවද යකෝ? පලයව්!! ගිහින් කියාපියව් ඔය ටික දේශපාලුවොන්ටයි, උන්ට කතිර ගහන "කකපුසන ජහමනතාවටයි". මොකෝ තොපි හිනාවෙන්නෙ??? බලු හැත්ත!!!

මම නිකන් දෙමළ ෆිල්ම් එකක කෙල්ලගෙ තාත්තගෙන් ෆේස් ටු ෆේස් ගේම ඉල්ලන කොල්ල වගේ "රෝස්' ටයි,  මිනිස්සු දොලොස් දෙනාටයි ටෝක් කරා. ඒ ඔක්කොම  උන්ගෙ දිග රැවුල් අත ගගා, කොන්ඩ කහ කහ, මගේ දිහා කන්න වගේ බලාගෙන කින්ඩියට කට කොනෙන් හිනා උනා.. ...
                    

Saturday, June 30, 2012

හායි! බායි!! (අතිශයින් ම පෞද්ගලිකයි)

    මේක අතිශයින් ම පෞද්ගලික පෝස්ටුවකි. මූනුපොතේ ලින්ක් එකක් නොදාන්නේ ඒ නිසා ය. ඔක්කොට ම කලින් මගේ සුවදුක් විමසූ සැමට ඉස්තුති කරමි. උඹට තියෙන්නේ අහවල් ලෙඩේ දැයි විමසූ හැම එකාටම මගේ හද පිරි තුති ය. :ඩී දැන් නම් ටික ටික හොඳ වෙමින් පවතී. ඒත් ඔලුවේ කැරකිල්ල අඩු නැත. "තිතට මතෙන්" ගැලවී "මතට කොමාවක්" දමා ඇත්තෙමි. (එය තිතක් නොවන බව කරුණාවෙන් සලකන්න. :පී). උඹට කෝමදැයි නිතරම අසන "මැන්ඩිට හා නිත්‍යාට ගොඩාක් ණයගැති ය. ඒ වගේම කියන්න දෙයක් තිබේ. හැම එකාම මට එක එක ඒව කවන්න ට්‍රයි කරන එක, එකෝමත් එක වෙලාවකට මළ ඇණයකි. ඒත් ඒ මගේම හොඳට බව ද මම දනිමි. උඹල වගේ හිතවතුන් ලබ්බනට මම "ලකී" උන එක ගැන හිතට සිරාවටම ෆිට් ය. :ඩී



     මේ දවස් ටිකේ හරියට ක්ලාස් යන්න බැරි උනෙත්, ගිය ඒවගෙ "දක්ශයන්ගේ පේලියෙ, (අන්තිම පැත්තෙන් පළවෙනි එක :ඩී) හිටියෙත් අසනීප තත්වය මත ය. ජනක සර් ගේ පළවෙනි ටෙස්ට් එක මම ලොවෙත් නැතිවෙන්න ම කලෙමි. (මොකුත් ලියන්න බැරි උන එක වෙන ම කතාවක් ය.) ලබන සතියෙ මාක්ස් දෙන කොට හැන්ගෙන්න තැනක් මේ දවස් වල සොයමින් සිටිමි. හිට්ලර්ගෙ ටියුට් එකේ ගනන් දෙකහමාරක් හැදීමට දවස් තුනක් තිස්සෙ දත කමි. කෝම හරි ඒකට ගේම දෙන්න හිතාගෙන සිටිමි. :ඩී



     ම්ම් මේකෙ ලියන්න ගොඩක් දේවල් හිතාගෙන හිටි නමුත් හිතට සිතුවිලි ගලා ඒමේ පොඩි මෙව්ව එකක් පවතී. (අහපියකො බලන්න තොට තාමත් වැඩි ද කියල එකෙක්. :පී) 



    අහ්! ඊයෙ, මම ඇය දුටුවෙමි. ඇය වෙනදටත් වඩා සුන්දර ලෙස දුටිමි. ඒත් දැන් ඇය ලොකු ලයින් එකකි. මෙඩිකල් කොලේජියේ නිසා අමුතු රැස්පෙක්ට් එකක් ඇත. මේව මතක් වෙනකොට පයනු අත දිගලෝ යනු ය. ජීවිතේ හැටි එහෙම ය. දැන් මට දුකක් නැත. "Life holds circumstances, but circumstances never hold life" කියල අපේ කලන් කිව්ව එක මට හොඳට මතකය. ඒක නිසා ඔක්කොම ශේප් වෙමින් පවතී. :ඩී ම්ම්ම් කෙල්ලො කතා මේ ඇතිය. :)



    අහ්හ් ම්ම් "නුවර යුගේ" විදියට කතා කරන එක මාර ආතල් ය. "කවි කඳුරෙන්"(සුමේත්‍රා රාජකරුණානායක ) ලද පන්නරයට, "බුද්ධිකගේ යට ගිය දවස" කියවීමෙන්  ඔක්සිජන් ලැබුනි. අහ්හ් මේ දවස් වල මම වැඩියෙන් ම අහන සoගීතය "Yanni's Prelude " ය. එහි වාදනය කරන අවුරුදු 3000ක් පරන "ඩුඩුක්" නම් ඉන්ස්ටෘමන්ට් එක මගේ හැඟීම් වලට ම කතා කරනවා ය. තව "Paolo Nutini" ගේ "Last Request " සින්ග් කරන්නට පොඩි ට්‍රයි එකක් දෙමි. ඒක නම් සිරාම සිරා ය. 




"Grant my last request,

And just let me hold you.

Don't shrug your shoulders,

Lay down beside me.

Sure I can accept that we're going nowhere,

But one last time let's go there,

Lay down beside me...."





 දැන් මට නිදිමත ය. නිදාගන්න ඕන ය. ඔක්කොටම "ගුඩ් නයිට්" ය! :ඩී 




මෙම පෝස්ටුවේ අරමුණ පසුගිය දිනවල හිතවතුන් සමග කතාබස් කිරීමට නොහැකිවීමෙන් ඇතිවූ රික්තය පිරවීම පමණක් බව කරුණාවෙන් සලකන්න.

Categories