Wednesday, January 4, 2012

ලොකු ඉස්කොලේ හාමිනේ

     මම මෙහේ ඇවිල්ලා ඉස්සෙල්ලා ම ඉගැන්නුවෙ ඔය ඉස්සරහ හන්දියේ තියෙන කනිස්ටෙ. එතකොට ඔච්චර ගොඩනැගිලි තිබ්බෙ නෑ. පොල්ලතු මඩුවක පන්ති තිබ්බෙ. ඒ කාලෙ දකුනෙ  මිනිස්සු මාලු අල්ලන්න මෙහේ ඇවිත් වැල්ල දිගට වාඩි හදාගෙන පදින්චි වෙලා උන්න. එහේ වාරකන් කාලෙත මෙහේ මුහුද හොඳයි. ඒක නිසා හැම අවුරුද්දක ම මාස හතරක් පහක් මෙහේ එනවා කරුමාන්තෙ කොරන්න. ඒ කාලෙ ඔය මාලු අල්ලන මිනිස්සු ඇරුනාම වැඩිය සිoහල මිනිස්සු උන්නෙ නෑ. වැඩිමනක් උන්නෙ මරක්කල, දෙමල මිනිස්සු තමයි. මෙහේ එනකොට මගෙ වැඩිමල් කෙලී චිත්‍රාට මාස තුනයි. මහත්තය තමයි මුල්ගුරුතුමා උනෙ. පස්සෙ අපි දෙන්නා එකතු වෙලා ඉස්කොලේ ගොඩක් දියුනු කරා . පස්සෙ මහත්තයා තිස්ස විද්‍යාලෙට ගියා. 

      අපේ මුල් ගම දොඩන්දුව. ඒක ඔය ගාල්ල පැත්තෙ තියෙන මූද අයිනෙ තියෙන ගමක්. අපේ ගමේ තමයි දොඩන්දු ගග මූදට වැටෙන මෝය තිබ්බෙ. දැන් වගේ නෙවෙයි ඉස්සර. අපේ මෝයෙ තිබ්බ වරායට එක එක රටවල් වලින් යාත්තරා ආවා. මට හොන්දට මතකයි ඉස්සර කොණ්ඩෙ දිගට බැදපු චීන වෙළෙන්දො එහෙම එනව ජාදි අරන් යන්න. අපේ ගෙදර තිබ්බෙ පොල් වත්තක් මැද. අපේ අප්පා පාරම්පරික වෙදෙක්. ඒක නිසා අපිට ගමේ ලොකු පිලිගැනීමක් තිබ්බ. අපේ ගෙදරට මිනිස්සු කියෙව්වෙත් මහ ගෙදර කියල. මම තමයි පවුලෙ වැඩිමලා. මට බාල මල්ලි ල තුන් දෙනෙකුයි, එක නoගි කෙනෙකුයි හිටිය. මම ඉස්කෝලෙ ගියේ සoඝමිත්තෙට. ඒක අපේ ගෙදර ළඟ මයි තිබ්බෙ. මට ගුරු පත්වීම හම්බවෙලා ඉස්සෙල්ල ම ඉගැන්නුවෙත් සoඝමිත්තෙමයි. දැන් නම් අපේ ඉස්කෝලෙ වැහිල ගිහිල්ල කියල ආරන්වියි. ඒ කාලේ අධ්‍යාපන ඇමති දහනායක මහත්තය. දවසක් මට ලියමනක් එවලා, ගෙන්නල කිව්ව ඉස්කොලෙ නෝනට මාරු වීමක් දෙනව ටිකක් ඈත පළාතකට. හොඳින් වැඩ කරල දියුණු කරන්න ඒ පළාත කියල. ඕන් ඔහොමයි මම මෙහෙට ආවෙ. එතකන් මම මෙහේ ඇවිල්ල ම තිබුණෙ නෑ.


      දකුනෙ මිනිස්සු මුලින් මුලින් දරු පවුල් එක්ක ආවෙ නැත්තෙ එච්චර හොඳ සිoහල ඉස්කෝල මෙහේ තිබ්බෙ නැති නිසා. ඒත් පස්සෙන් පහු සිoහල ඉස්කෝල හැදිල දියුණු වෙලා එනකොට දරු පවුලුත් එක්ක ඇවිල්ලා වැල්ල දිගටයි, ටවුම කිටුවෙයි ගෙවල් හදන් උන්නා. ඔය අතරෙදි තමයි සුලිසුළග ආවෙ. මට නිච්චි හැටියට ඒ හැත්තැ ගනන් වල ද කොහෙද. ඒකෙන් වැල්ල දිගට තිබ්බ ගොඩාක් පැල් කොට විනාස වෙලා ගියා. ඊට පස්සෙ මිනිස්සු ඇතුලට වෙන්න මේ හරියෙත් ගෙවල් හැදුවා. අපිත් මෙහේ ආපු ම දවස් වල ටවුමෙ කුලී ගේක හිටියෙ. අපේ බාලම මලය, නන්දදාස ඒ කාලෙ වැඩ කලේ මිනින්දොරු දෙපාර්තමේන්තුවේ. එයා දවසක් මේ ආන්දන්දන් කුලමෙ මොකක් ද වැඩකට ඇවිල්ල මේ ඉඩම දැකල කොටු කරලා ගිහින් මට පයින්ඩයක් එවල තිබ්බ "ඕන් අක්කෙ මම උබට ඉඩමක්  සුජානම් කෙරුව" කියල. කොහොමින් හරි මහත්තයත් එක්ක ඇවිත් බලලා අපි මෙතන ගෙයක් හදන්න තීරණය කෙරුව. ඒ කාලෙ මේක ඔය කොළඹ පාර අයිනෙ ඉදන් ආන්දන්කුලම වැවට වෙනකන් ම ඉඩම තිබ්බා. පස්සෙ මහත්තය වැව අයිනට වෙන්න පවුල් දහයකට ගෙවල් හදලා දුන්නා. එයැයි ගෙ හැටි තමයි ඉතින්. දෙමළ පවුල් හයකුයි, මරක්කල පවුල් තුනකුයි, එක සින්හල පවුලකුයි ඕන් ඔහොම අපිත් එක්ක ජීවත් වෙන්න ආව.


     කාලෙ ඔහොම ගෙවිල යන අතරෙ තමයි මේ තිරිකුණාමලේටත්  කොටි කලබල ආවෙ. කොටි අපේ රටට වගේම අපේ පවුලටත් ලොකු අන්ධකාරයක් ගෙනාව. මට නිච්චි හැටියත ඒ අසූ ගනන් වල මුල් කාලෙ. මහත්තයා එතකොට මෙහෙ ගම් සභාවෙ සභාපති වෙලා හිටිය. එයා මනුස්සකම තියෙන, මට, දරුවන්ට වගේම හැම මිනිහටම එක වගේ සලකපු හිත හොඳ මනුස්සයෙක්. ඒ කාලෙ මහත්තයා ඔය වැව හරියට වෙන්න ගඩොල් පෝරණුවක් කරගෙන ගියා. දවසක් හවස ගමට කොටි ගැහුව. ඒ වෙලාවෙ මහත්තය ඉදලා තියෙන්නෙ වාඩියෙ නිදාගෙන. වෙන කවුරුත් වාඩියෙ ඉදලත් නෑ. කලබලේ ඉවර උනාට පස්සෙ මහත්තයා ආ ගිය අතක් නැති උනා. අපි හොයන්න් තියෙන හැම තැන ම මහත්තයා හෙව්ව. ඒ වoගියෙ ආන්දන්කුලමෙ පස් දෙනෙක් කොටි කටට බිලි වෙලා තිබ්බ. මම පුල්ලෙයාර් දෙවියන්ට මහත්තය වෙනුවෙන් බාර උනා. අන්තිමේ දවස් දෙකක්ට විතර පස්සෙ කොස්සක් අරන් ගිහින් පිහිදන්න කියල වාඩියෙ තිබ්බ බූරු ඇද පැත්තකට ඇද්දා. කොටි නිදාගෙන හිටිය මහත්තයට වෙඩි තියලා ඇද යටට තල්ලු කරල තිබ්බ. රටක් වටින මනුස්සය මාව ද


රුවො හතර දෙනෙක් එක්ක තනිකරල ගියා.

     කොටි හබරණ කැලේ දි වoගියක් බස් එකකට ගැහුව. ඒකෙ මගෙ නoගියි, නoගිගෙ ලොකු පුතයි හිටිය. එයාල අපේ ගෙදර ඇවිල්ල ආපහු යමින් ගමන් තමයි ඒ. පුතාගෙ හත් දවසෙ දානෙ දවසෙ තමයි මෙඩිකල් කොලීජියට තේරිච්ච ලියමන ආවෙ. නoගි බේරුණා. එයාගෙ ඇගේ තිබිල මූනිස්සම් දහ තුනක් අයින් කරා. ඔය විදියට වටින ජීවිත කීයක් නම් මේ රටට නැතිවෙන්න ඇද්ද? ඉන්දියන් හමුදාව ආපු කාලෙ අපිට ගොඩක් කරදර උනා. උන් මේ හතර වටේ ම උන් ගෑනු අය දූෂණය කලා. කන කර කඩා ගත්තා. ඒක නිසා අපි ගලේවෙල අපේ බාප්පලයි ගෙදර ළග ගෙයක් බද්දට අරන් උන්නා. නෑදෑයො හැමෝම එයාලගෙ ගෙවල් වල එන්නෙයි කිව්ව. ඒත් මම කාටවත් කරදර කරන්න කැමති උනේ නෑ. අනූ දෙකේ දි ඉන්දියන් හමුදාව ගියාට පස්සෙ ආපහු අපි මෙහේ ආව. ඉන්දියන් හමුදාව ගියාට පස්සෙ පුරප්පාඩු පුරවන්න දකුණෙන් සිoහල ගුරුවරු මෙහාට ගෙන්නුව. එහෙම ආපු හතර දෙනෙක් ට නවාතැන් හොයාගන්නකන් මම අපේ ගෙදර නවාතැන් දුන්නා. එයාල නවාතැන් හොයන් ගියාට පස්සෙ ත් මම දිගටම කෑම උයල දුන්න. මම පැන්ෂන් ගිය දවස නම් දැන් හරියට ම මතක නෑ.

     මගෙ පුතා දැන් වැඩකරන්නෙ ප්‍රීමා එකේ, මේ ළගමයි. එයා ඉන්ජිනේරුවෙක්. බාල ම දූත් ඉන්නෙ මෙහේමයි. එයා වැඩ කරන්නෙ වරාය අධිකාරියේ. අනිත් දූලා දෙන්නා ම බැදල ගිහින්. මට දැන් වයසයි. මගේ කාලෙ දැන් ඉවරයි. මගේ ජීවිතෙන් වැඩි හරියක් ගෙවුනෙ තිරිකුණාමලේ මිනිස්සු අතරෙ. මම මෙහේට ආසයි. මම හැම දා ම පුල්ලෙයාර් දෙයියන්ගෙන් ඉල්ලන්නෙ හැම කෙනාට ම හොදක් වෙන්න කියල. පුතාට මම දෙයක් කියන්නම්. කැමති නම් රස්සාවක් කරන කාලෙක මෙහේ ට එන්න පත්වීමක් අරගෙන... කොටි මගේ මහත්තයගෙ ජීවිතේ බිලි ගත්ත කියල මගේ දෙමළ මිනිස්සු එක්ක කිසිම වයිරයක් නෑ. මගේ එක ම ලේලිථ් දෙමළ කෙනෙක්. අපි හැමෝට ම මේ රට අයිතියි පුතා.. !



සත්‍ය කතාවක් ඇසුරිනි.
විශේෂ ස්තූතිය රත්නාවලී ජයසූරිය මහත්මියට.


3 comments :

Categories