Saturday, July 21, 2012

"කිරි පෙවූ දරුවනේ කොහි ගියෙද නුඹලා?"


මීට ටික දවසකට කලින් රෑක අපි හිටියෙ ප්‍රදීපා ධර්මදාසගෙ කොන්ස(ර්)ට් එකක් බලමින්. එක සින්දුවක් ඉවර වෙලා තවත් සින්දුවක් පටන් ගන්න අතරතුර පොඩි බ්‍රේක් එකක් එනවනෙ. ඒ අතරතුර මගෙ අම්ම කනට කොඳුරල කිව්ව කතාවකින් තමයි මම මේක් පටන් ගන්නෙ. 
  "ඉස්සර ප්‍රදීප කියන්නෙ රැඩිකල් මොඩ්ල් එකේ ගායිකාවක්, ඒත් දැන් මෙයා පවතින ක්‍රමේට හැඩගැහිල"

 "මොකක් ද ඒකෙ තේරුම?"

 " නෑ නෑ ඉස්සර මෙයාගෙ සින්දු තහනම් වෙනවා, කොන්සට් තහනම් වෙනව. ඒත් දැන් ඒ මොකවත් නෑ නෙ. දැන් මෙයා මහරජාගෙ ආණ්ඩුවට මොකවත් කියන්නෙ නෑ නෙ."

   එතකොටම අර තට්ට ඔලුවකුයි, පට්ට ම පට්ට වොයිස් එකකුයි තියෙන නිවේදකය කලුවර අස්සෙන් වැදුන "ස්පොට් ලයිට්" එකක් අස්සෙන් මතු උනා. ඔහු බොහොම බැරැරුම් මූනක් මවා ගෙන "අතුරුදන් වීම හා අතුරුදන් කරවීම" කියල බිම බලා ගත්ත. ස්පොට් එකත් නිවුනා. ඊට පස්සෙ ෆ්ලූට් එකක් එක්ක බැක් කරපු මියුසික් එකක් අස්සෙන් අර "ස්පොට් එකෙන්" ම ප්‍රදීප මතු උනා. 



 
"ආකහේ කලු ම කලු සළු එළා තිබුණා,
රෑ පුරා උළ ලේනි දෑස රතු කෙරුවා
හාමතේ දිය පොදක් උගුර හිර කෙරුවා
කිරි පෙවූ දරුවනේ කොහි ගියෙද නුඹලා?

අතුරුදන් වුනා තාරකාවක් අහස් කුසේ
අතුරුදන් වුනා මල් කැකුළු චණ්ඩ මාරුතේ
අතුරුදන් වුනා යැයි මුසා නොකියවු මිනිසුනේ
අතුරුදන් කළා මපුතුන් සොරාගෙන ජීවිතේ

ගම් දොරේ දරුවන්ගේ කිරි සිනා ඇසෙනා
   තුන් යමේ නෙත් පුරා දුටු සිහින පමණක්
   මන්සලේ ගිනිමැලේ සදාකල් ඇවිලෙනා
      ජාතියක් වැදූ කුස ජාති ජාතිත් කකියනා..."


  ඇල්ටො, සොප්‍රානො පරාසෙට ඒ සින්දුවෙදි ප්‍රදීප නොගියට ඒ වචන මගේ හිතත් එක්ක කෙලින් ම කතා කරා. අර අම්ම කියපු "රැඩිකල් ප්‍රවේශය" මොකක් ද කියල මට තේරුම් ගියා. ඒ සින්දුවෙ වචන දිගේ මo දිගටම කල්පනා කරා. ඒතකොට මේන්න "මහාචාර්ය උස්වත්තෙ ආරච්චි" ඉස්සරහට හම්බ උනා. එයා එක පාරක් කෑම මේසෙදි  මගේ "දේශප්‍රේමී ටෝක්" එකක් ඉස්සරහ "ලoකාවෙන් පිට වෙන්න හේතු දාහක් හොයගන්න පුලුවන්. ඒත් මේ රටේ ඉන්න, මෙහේට වැඩ කරන්න එක හේතුවක් හොයගන්න අමාරුයි" කියල බොහොම හැඟීම් බරව කිව්ව විදිය මට මතක් උනා. මෙන්න ඊට පස්සෙ "අටවක පුත්තු" අර මහගෙදර (ගම්පෙරලියෙ) ඉස්තෝප්පුවෙ තියෙනව වගේ කනප්පුවක් උඩ තියෙනව. මo ගිහින් ඒක අතට අරගෙන නිකමට වගේ පෙරලුව. පෙරලගෙන පෙරලගෙන ගිහින් මම නැවතුනෙ දෙසිය තුන්වෙනි පිටුවෙ. 


      "පනස් හයේ ඔහු උපදිනකොට, සින්හල බෞද්ධ ස්වර්ණමය යුගය උදා වෙලා, දෙමළටත් දෙවෙනි වෙලා හිටපු බෞද්ධයො දියසේන කුමාරයත් එක්ක එකතු වෙලා දෙමළ ගෙවල් ගිනි තිබ්බා. ඔහු ඒ හින්දා කෑ ගහල ඇඬුවා. ඔහුගෙ තුන්වෙනි උපන්දිනේට වෙඩි සද්ද පූජාවක් තියන්න හිතපු හාමුදුරුවෙක් අගමැතිට වෙඩි තියල බුද්ධ සාසනෙත් බේරුව. "හොරිකඩ ගෙරිගනය". ඔහු උසස්පෙළ පන්තියට තේරෙන්නා අසමත් උන තරහට හැත්තෑ එකේ කොල්ලො පොලීසියට වෙඩි තිබ්බා. පාළo ගාව කොල්ලොන්ට වෙඩි තියල  ගඟේ පා කරල ඇරල "තේගුරා බල්ලො" "සිරිම හීරි යකින්න" දෙසැරයක් ම තැත් කරල ඔහු කැම්පස් තේරෙන කොට, ගමේ ශ්‍රී ලoකා ගෙවල් සේරම, තමන්ගෙ ගෙදරත් එක්ක ම අසූචි වලින් නෑවුනා. ඔහු සහකාර කථිකාචාර්යවරයෙක් උන එක සමරන්න සිoහල මැරයො ආයෙත් දෙමළ ගෙවල් ගිනි තියල ජූලියක් ම කලු කරල මුලු රටක් ම අලු කෙරුව. මේ ඊයෙ පෙරේදා තමන්ට ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය පදවිය ලැබීම සමරන්න ආයෙත් රට ගිනිගන්න පටන් අරන්. මහ විනාසයක් අත ලඟ..."


    මo ඒක කියවන දිහා "කැප්ටන් ගයාන් බෝපගේ" (මගේ ඤාති සහෝදරයෙකි. ඔහු මුහමාලේ ඉදිරි ආරක්ශක වළල්ලේ දී දිවි පිදුවේ ය.) මගේ දිහා හිනා වෙවී බලන් හිටිය. ඒ විතරක් ය. මන් පොටෝ එකකින් විතරක් දැකල  තියෙන ජේවීපී එකෙන් "යුඇන්පී" කාරයෙක් උන වරදට මරල දාපු සෝමෙ මාමයි, යූඇන්පී ඇමතියෙක් ගෙ පෞද්ගලික මැර හමුදාවකින්, අoක තහඩු නැති වාහනයකි අතුරුදන් කරපු මනුර බාප්පයිත් කැප්ටන් ගෙ පිටිපස්සෙන් හිනා වෙවී හිටිය. මන් වැඩ කරපු NGO එකෙන් උදව් කරපු නඩුවක් නැතුව බූස්සෙ කෑම්ප් එකේ හිරකරන් ඉන්න එල්ටීටීඊ සැකකාර තාත්තගෙ චූටි දූ, "රන්දා" ත් කොහේ ද ඉඳල හිනාවෙවී මගේ ඉස්සරහට දුවගෙන ආව.  

   එක පාරත ම ම කාලගෝට්ටියක් ඇහෙන්න ගත්ත. මෙන්න බොලේ "රෙජිනෝල්ඩ් රෝස්"ගෙ "Twelve Angry Men" මගෙ පිටිපස්සෙ. ඒ වෙලාවෙ මන් හිටියෙ කොහෙද කියල නම් දැන් හරියට මතක නෑ. 


   "තමුසෙල දැන ගන්නවා හොඳයි මේ අපි දොළොස්දෙනා ගන්න තීරණය මත තමයි තරුණ ජීවිතේක අනාගතේ රැඳිල තියෙන්නෙ. අද රෑ එළි වෙනකන් හරි අපි කතා කරන්න ඕන. තරුන ජීවිතේක අනාගෙතේ ගැන ගන්න තීරණයක වැදගත්ම තේරුම් ගන්නවල හොඳයි." 

 අර "Twelve Angry Men" එකේ තොප්පියක් දාගත්ත මහත්තය "ජූරි සභාව" තිබ්බ කාමරේ වටේ හැතැක්මක් විතර ඇවිද ඇවිද හෙන සීරියස් මූනකින් කිව්ව. 

    එතකොටම මගේ මුලු ඇඟේම තිබ්බ ලේ රත් වෙලා එක පාරටම පපුවට ගලාගෙන එනව මට දැනුන. කොහේ තිබිල ආවද දන්නෙ නැති කේන්තියකුයි, දුකකුයි, වචනෙන් කියන්න අමාරු වේදනාවකුයි මගෙ ඇඟ හිරි වැට්ටුව. 

මොන හු****ක් ද යකෝ ඕක මෙතන ඉඳන් කියවන්නෙ. ඕක ගිහිල්ල කියාපන් මේ රටට අවුරුදු හැටක් තිස්සෙ  (*)කන දේශපාලුවොන්ට. එල්ටීටීඊ, චේගුරා, ජෙප්පො, හූඇන්පී, ශ්‍රීල0කා, තම්බි, මොකා උනත් උන් මේ රටේ දරුවො බොලව්! මෙතන ඉඳන් අහවල් මගුලක් කරනවද යකෝ? පලයව්!! ගිහින් කියාපියව් ඔය ටික දේශපාලුවොන්ටයි, උන්ට කතිර ගහන "කකපුසන ජහමනතාවටයි". මොකෝ තොපි හිනාවෙන්නෙ??? බලු හැත්ත!!!

මම නිකන් දෙමළ ෆිල්ම් එකක කෙල්ලගෙ තාත්තගෙන් ෆේස් ටු ෆේස් ගේම ඉල්ලන කොල්ල වගේ "රෝස්' ටයි,  මිනිස්සු දොලොස් දෙනාටයි ටෝක් කරා. ඒ ඔක්කොම  උන්ගෙ දිග රැවුල් අත ගගා, කොන්ඩ කහ කහ, මගේ දිහා කන්න වගේ බලාගෙන කින්ඩියට කට කොනෙන් හිනා උනා.. ...
                    



 තට්ටුවක් වැටිලා මට ආපහු ප්‍රදීපගෙ කොන්සට් එකට ම එන්න උනා. අම්ම මගේ දිහා බලාගෙන හිනා වෙවී "මොකෝ ප්‍රදීප, "අ‍යිශ්වරී" වගේ පේන්න ගත්ත ද කියල ඇහුව.. :)


එදා රෑ නිදාගන්න ගියාම මට ප්‍රදීපගෙ සින්දුවත් එක්ක ම තව එක කවියකුත් මතක් උනා.


 

"උළමුන් හඬන ලඳු කැලෑවල,
ඉරි තැළුනු සඳ මඬල යට,
සොයා ගොස්
නිදහසේ උදානය,
රහසින් පරව ගිය මල් කොතරම් ද?
සුවඳින් යුතුව පිපෙන්නට
රහසින් වනපොත් කළ නිදහස...
ගිනි ගත්තු හිරුමඬල යට,
සැඟව ගියෙ දොළ පාර තුළ,
උන් උදුරාගෙන ගොස් හෙයින් ජීවය
පරවුනු මලක් වී
පාර මැද
නාඳුනන හිතවතුන් අතර
මියෙන්නට විණි
තුන්මoසලක පාළුව..."


ප්‍රදීපගෙ "ආකහේ කලු ම කලු" අහන්න කැමති අය .මේ පේජ් එකේ 56 සෝන්ග් එක ක්ලික් කරන්න.

1 comments :

Categories