Tuesday, August 28, 2012

ආයෙමත් ආදරෙන්...!


   මගේ හිතට මහා තනිකමක් දැනෙද්දි, මගේ හිත මටත් හොරෙන්  දුවගෙන ගිහින් ඔබ හිටපු තැනක නතර වුනා. ඉස්සර වාගෙමයි. පුoචි ම වෙනසක් වත් එතන තිබුණෙ නෑ. ඒත් එකම එක වෙනසක් මගේ හිතට තදින් දැනුනා. ඒ ඔබ නැති හිස්කම.. ඔබ මට මුණගැහෙන කොට ඔය ඇස් වල දුක පිරිලා තිබුණා. මොකක් දෝ වේදනාවකින් මූණ මිරිකෙමින් තිබුණා. කතා කරනකොට දුක හoගගෙන, වචන එකතු කර කර පරිස්සමට.. අන්තිමට ඔබ ඇත්තම කිව්වා. "මo මගේ ජීවිතේ අත් ඇරලා දාල තියෙන්නෙ." මo උත්සාහ කරා ඔය හිතට ජීවත් වෙන්න හේතුවක් හදලා දෙන්න. ඒත් අතහැරපු ජීවිතේ ගැන ඔබ නිතර ම කතා කරා. දවසක් ඔබ කෝපි මල් හිනාවක් එක්ක මා ළඟට ඇවිත් "ඔයාට කියන්න, මම ජීවත් වෙන්න තීරණය කරා." ඒ දුක අතහැරපු සතුටට ද, නැත්නම් වෙනත් කාරණාවකට ද කියන්න අදටත් මට බැහැ.. පස්සෙ කාලෙක ඔයා යන්න ගියා. නොකියා ම, නොබලා ම.. සමහර විට ඔබ ඉන්න තැන ඉඳන්  ඔබ අදත් පුටුවකට බර වෙලා මේ කතාව අහගෙන ඉන්නව ඇති, ආයෙමත් ආදරෙන්...!



අද ආයෙමත් ආදරෙන්, ආදරේ ගැන සිහිපත් කරන්නෙ ඇවිත් ඉන්නේ සදාතනික ආදරණීය හිතක්. අඳුරනව ද බලන්න..


අ**** උ**** ආරච්චි


පහුගිය දවසක මම අපි නිතර ම ඇවිදන් ගිය පාරෙ තනියම ඇවිදන් ගියා. වේලිච්ච හුළඟ, වළාකුළු නැති අහස, පාලුවට ගිය පාර.. මගේ තනිකම මට තවත් වැඩි කරා...

ආදරය මුලින් ම හිතට දැනුන දවස මතක ද?


    මගේ කල්පනාවෙ හැටියට නම් ආදරය කියන අකුරු හතර තියෙන මුල් පොත අපිට කියවන්න ලැබෙන්නෙ අම්මාගෙන්. ඊට පස්සෙ තාත්තා, සහොදර සහෝදරියො, නෑදෑයො එකතු වෙලා මේ පොත පෙරලගෙන පෙරලගෙන යනවා. අපේ තරුණ කාලෙට ආවට පස්සෙ නාඳුනන හිතවතෙක්ගෙන් හරි, හිතවතියකගෙන් හරි පෙරලෙන පළවෙනි පළවෙනි පිටුව ම නෙවෙයි ප්‍රථම ප්‍රේමය මo හිතන්නෙ.

    ම්ම් මo දහයෙ පන්තියෙ විතර ඉන්න කාලෙ, එක දවසක්, ගණිතය විෂයට මo ගොඩක් දුර්වල වෙලා හිටපු නිසා අපේ අම්මා මාව ටියුෂන් පන්තියකට එක්කන් ගියා. ඔන්න පන්තිය පටන් අරන් ටික වෙලාවක් යනකොට එක ගෑනු ළමයෙක් සායකුයි, ටී ෂර්ට් එකකුයි ඇඳගෙන පොත් ටිකකුත් තුරුල් කරගෙන හති දාගෙන දුවන් ආවා. එදා ඇයව දැකපුවහම මේ පපුවට දැනුන හැඟීම, අනෙක් අය ගැන මට ඇති වෙලා තිබ්බ හැඟීම් වලට වඩා ගොඩක් වෙනස්. ඉතින් මo තීරණය කළා ඒ ආදරේ වෙන්න ඕන කියල.


කොණ්ඩෙ දෙකරලට බෙදපු, තරු වගේ ඇස් තියෙන, හඳක් වගේ මුහුණක් තියෙන, නා දළුවන් දෙතොලකින් හිනැහෙන, කවියක් වගේ පෙනෙන මුහුණක් නිතරම හිතට ඇවිත් ආපහු නැතුව ගියා.

ආදරෙ කරද්දි හිතට ඇඳුනු රූපයක් තියෙනව ද?

මම එහෙම රූපයක් හෙව්වා කියල හිතෙනවා. අහවල් එකයි කියල ම කියන්න බැහැ. මගේ හිතට ආපු රූපයටම ද මම කැමති උනේ, එහෙම නැත්නම් මගේ හිතේ ඇඳිච්ච රූපය පරමාදර්ශයක් විදියට තවමත් මගේ හිතේ ඉතිරි වෙලා තියෙනව ද, එහෙම නැත්නම් මගේ හිතේ ඇඳිච්ච රූපයට මම කැමති රූප‍ය මම ආදේශ කරගන්නව. මම බලාපොරොත්තුවෙන් හිටියෙ, මගේ හිතේ ඇඳුනෙ මෙයා වෙන්න ඇති කියල මට හිතෙනවා. ඒක හරි සoකීර්ණයි. ඒක ටිකක් සoකීර්ණ කාරණාවක්. නමුත් කැමති අකමැති කියල වර්ග දෙකක් තියෙනව. ඒ දෙකෙන් මටත් පින්තූරයක් ඇඳලා පෙන්නන්න පුලුවන්, මගේ හිතේ උපන් රුව..

ඔයා හැමදාම පන්තියට ආවෙ පරක්කු වෙලා. දුවගෙන දුවගෙන ඇවිත් මo ඉන්න මේසෙට එහා මේසෙන් වාඩිවෙනව. ඊට පස්සෙ කාටත් නොදැනෙන්න හුස්ම ගන්නවා. මo දිහාත් බලනව. එක දවසක් මතක ද මo ඔයාගෙන් අහපු දේ?

ඒකෙ අනිත් පැත්ත. මට ඕන උනා එයාට කියල මට ආදරෙයි කියවගන්න. එයාගෙ ඇස් දෙකෙන්, වචන වලින්, හැසිරෙන විදිහෙන් මම දැක්ක දේ, මම තේරුම් ගත්ත දේ ඇගේ වචන වලින් ම අහගන්න මට ඕන උනා. අන්තිමට ඇය ඒක කිව්ව නෙවෙයි, මගෙන් ඇහුවා ඔයා මට ආදරෙයි ද කියලා. මගේ උත්තර‍ය උනේ "ඒක ඔයා දන්නවා" ;) ඈ කිව්වා ඔව් මම එක දන්නවා කියල. එහම කියලා ඈ ලස්සනට හිනා උනා. මට මතකයි හොඳටම. ;) ඒත් ඒ ආදරේ ගැන දැන් හිතන විදිය ඊට වඩා ගොඩක් වෙනස්. මට දැනෙන විදියට එතන තිබුණෙ "හිමිකර ගැනීම" කියන සoකල්පය. තමන් වෙනුවෙන් කෙනෙක් ඉන්නවා ය කියන සතුටත් එතන තිබුණා. අහන්න අමාරුම ප්‍රශ්නෙට අමාරු ම උත්තරේ දුන්නා වුනා ට ඒ ගැන දැන් හිතෙන්නෙ සහ හිතන්නෙ සම්පුර්ණයෙන් ම වෙනස් විදියකට. :)


ඔයා ළඟ තිබුනා ලස්සන නෝට් පොතක්. මo ඒ පොත අරගෙන ඇහුවා දවසක් කොහෙන් ද ගන්න තියෙන්නෙ කියල. ඔයා හිනා වුනා. පහුවදා මම එනකොට මගේ මේසෙ උඩ තියෙනව පාර්සලයක්. ඔයා හිනා වෙවී හිටියා. ඒ පාර්සලේ ඇතුලෙ තිබුණෙ මම ආසම ඔයාගෙ නෝට් පොත වගේ එකක් නෙවෙයි. ඔයාගෙ පොතමයි...

මතක ද මුලින් ම ආදරේ වෙනුවෙන් ලැබුණු තෑග්ග?

ඒක මට ලැබුනෙ මගේ උපන් දිනේ දවසට කලින් දවසෙ. ඈ මට දුන්න පොඩි නෝට් පොතකුයි, පැන්සලකුයි, සයින් පෙන් එකකුයි. දීල කිව්වා "මේ දේවල් වලින් මම ඔයාට කතාවක් කියනව. මේ වගේ ම නෝට් පොතක් මගේ ළඟත් තියෙනවා. අපි දෙන්නට එකට මූන දෙන්න වෙන හැම දුකකදිම, සතුටකදි ම ඇතිවෙන හැඟීම් ඒ පොතේ අකුරු කරන්න. අපිට අපේ දිනපොත් වෙන්න පුලුවන් දවසක් එයි. එදාට අපි මේ පොත් දෙකම එකට තියල කියවමු. මේ පෑන ඔයාට දෙන්නෙ පෑනකින් කරන්න ගොඩක් වැදගත් දෙයක් තියෙනවා කියලා මතක් කරන්න. මේ පැන්සල මම  ගොඩක් ආස කරන වර්ගෙ එකක්." එදා ඒ තෑගි වල භෞතිකමය වටිණාකමට වඩා දෙයක් මට දැනුනා. ඈ හරිම නිර්මාණාත්මකයි. ඒ තෑගි වලින් හුවමාරු වෙච්ච හැඟීම් සදාකාලිකවම මතකයේ තියෙනවා. :)

ඔයා නැති හැම වෙලාවක ම මුමුණන්න ගීතයකුත් අරගෙනයි ආවෙ. 

මතක ද ආදරය වෙනුවෙන් මුමුණපු ගීත?

ගීත නම් ගොඩාක් තියෙනවා. ඇයත් මම වගේම සoගීතය ට ගොඩක් ප්‍රිය කරපු කෙනෙක්. අපි එකතුවෙලා ගොඩක් දවස් වල ගීත ගායනා කරා. ගිටාරෙකුත් තියන් ගත කරපු හැන්දෑවන් මට මැවිලා පේනවා වගේ. ආදරවන්තයො ගොඩක් ම කැමති වියෝ දුක ගැන තියෙන ගීත වලට මම හිතන විදියට. වියෝ වෙලා නොසිටියත් අපි විරහ ගීත නිතරම ගායනා කරා. ඒකෙන් බලාපොරොත්තු උනේ මොකක් ද කියන්න නම් තේරෙන්නෙ නෑ. සමහර විට හැඟීම් වලින් පපුව පුරවගෙන ඉන්න තිබ්බ ආශාව වෙන්න ඇති. ඔය අතරෙන් You Raise Me Up ගීතයට අපි දෙන්නම ගොඩාක් ආස කලා මතකයි.



ඉස්සර රැයක් රෑ වෙනකන් ඔබ ගැන සිහි කර කර ඉන්න මම මගේ ඇස් වලින් නිදිමත බේරෙන්න තියෙනකොට මගේ හිත ආදරෙන් පිරිලා ආදර හැඟුම් ලියුමක ලියනවා. පහුවෙනිදට ඒ ලියුම ඔයාගෙ පොතක් අස්සට දාල , පැත්තක ඉඳන් හොරෙන් බලන් ඉන්නවා.

මතක ද ආදරේ වෙනුවෙන් ඉස් ඉස්සෙල්ලාම ලියපු දේ?


මම ඉස්සෙල්ලා ම ආදරේ ගැන ලියපු දේ ගැන නම් මට පැහැදිලි මතකයක් නෑ. මo හිතන්නෙ සමහර විට මම ඇගේ සුන්දරත්වය ගැන හෝ ආදරයේ මිහිරියාව ගැන ලියන්න ඇති. ඒත් ඇගෙන් මට ලැබුණ පලවෙනි කෙටි පණිවිඩය නම් හොඳට මතකයි.
"හැඟුමන් දහසක් සිත් මල තවරා
නුබ ගැබ සරනා හිරු ද සඳු ද ඔබ?
සිතිජ‍ය අබියස සැඟවීගෙන යන
හිරු හෝ සඳු නොව ඔබ මගේ ලොව තුළ
නැත උපමා තව ඔබ ගෙන ඒමට
ලොව දුහුවිල්ලකි ඔබ පා යුග ළඟ.."

එක ලස්සන දවසක ඔබ මගෙත් එක්ක අමනාප වුනා. කිසිම හේතුවක් නැතුව. ඊට පස්සෙ වචනයක්වත් නොකිය ඔබ යන්න ගියා. එදා මo මගේ හිතත් එක්ක තනියට හොඳටම වැලපුනා. 

ආදරය වෙනුවෙන් අඬපු දවසක් තියෙනව ද?

අපොයි ඔව්. අනන්තවත් අඬලා තියෙනව ආදරේ වෙනුවෙන්. ඒ ඇඬිලි වලට සීමාවක් නෑ. මo හිතන්නේ හැඟීම්බර ආදරවන්තයො සන්තෝසෙට වඩා දුකට කැමතියි. දුක හොයනවා. දුක් වුනාම තමයි මම ඇයට ආදරෙයි කියල මට ම ඔප්පු වෙන්නෙ. ඒ නිසා මම ඇය වෙනුවෙන් හරියට දුක් විඳලා තියෙනව, හරියට වේදනා විඳලා තියෙනවා. ඒ ඇය මට කරපු කිසියම් වරදක් නිසා නොවෙයි. සුළු සුළු කාරණා ඔස්සේ හරියට හිත රිදෙනවා. හිත රිදුනාම අඬනවා. ඇඬෙනවා. එහෙම ඇඬුනා ම, හිත රිදුනා ම ආපස්සට තේරුම් ගන්නවා මගේ හිත එහෙම රිදුනේ ඇයි? ඇය කෙරෙහි මගේ හිතේ තිබුණ ආදරය නිසා තමා මගේ හිත රිදුනේ. ඒ නිසා තවත් ඇයට ආදරය වැඩි වෙනව. ආදරේ කියන්නෙ සතුටට වඩා දුකත් එක්ක මිශ්‍ර වෙච්ච කතන්දරයක්. 

ජීවිතය අතහැරල දාල හිටපු ඔයාට ජීවිතේ හොයල දීපු මo අන්තිමට මගේ ජීවිතේ ඇතුළෙම තනි වුනා. මට මගේ ජීවිතේ නැති වුනා වගේ දැනෙන්න පටන් ගත්තා. මගේ හිත අන්තිමට පිරිමැද්දෙ විරහ ගීත විතරයි. 

අදරයේ වියෝවට මුමුණපු දුක් ගීය මතක ද?



එකක් කියල කියන්න අමාරුයි. විරහ වේදනා විඳීම තුලින් මගේ සoගීත රුචිකත්වය වෙනස් ම දිශාවකට හැරුනා කියල කියන්න පුලුවන්. මොකද ඒ වෙනකන් "හෙවි මෙට්ල්", "රෙගේ" වගේ සoගීත භාවිතාවන්ට හිර වෙලා හිටපු මම ඉන් පස්සෙ සිoහල සම්භාව්‍ය ගීත වලට ඇදිලා ගියා. නන්දා මාලිනී, ගුණදාස කපුගේ, මිල්ටන් පෙරේරා, පණ්ඩිත් අමරදේව වගේ මහා ගායකයොන්ගෙ ගීත මගේ ගිනි අරගෙන තිබ්බ හිත නිවන්න ගොඩක් වැඩ කළා. ඒත් එක්ක ම විරහා වේදනාව, ස0ගීතයත් එක්ක මුසු කරලා රසවිඳින්න මට පුලුවන් උනා. ඔය අතරින් දයාන් විතාරණගෙ එක ගීයක් දැනුත් මම නිතරම මුමුණනවා.

"අදින් පසු ඔබ, ඔබට හිමි මග
ඉතින් මා මට උරුම තනි මග
ආයෙමත් හමුවන තුරා
දෙතැන ඉමු අපි මග බලා..."


හැමදේම නැති වුනා වගේ දැනුනත්, අදටත් මම කොහොම හරි හිත හදාගෙන ජීවත් වෙනව. ඔබව මතක් වෙන හැමවෙලාවෙම හිත දුකෙන් පිරෙනවා. ඒත් අදටත් මම කොහොමහරි හැමෝම වෙනුවෙන් ජීවත් වෙනවා.

ආදරෙන් පස්සෙ ජීවිතේ ට ලැබුණු දේවල් මොනවද?


  ඒ ආදරෙන් පස්සෙ ඉතින් තව කෙනෙකුට ආදර‍ය කරා. ඉතින් ඒක තමයි මනුෂ්‍ය ස්වභාවය. ඒක හරියට.. පුoචි ළමයෙක් සරුoගලයක් මහන්සියෙන් හදලා, රැලි අලවලා, ඒක උඩ යනව බලලා සන්තෝස වෙලා අන්තිමට තමන් දන්නෙ ම නෑ ඒක කඩාගෙන යනව සුළඟට අහුවෙලා එක්තරා තැනකදි. ඊට පස්සෙ ඉතින් ළමයා අඬලා, දොඩලා, දුක් වෙලා ආයෙ ඉතින් ඊලඟ සරුoගල් කාලෙ එනකොට ආයෙ එකක් හදනවා. ඒක අමතකයි. ආයෙ ඉතින් ඔය සරුoගලෙත් කඩාගෙන යනවා. ඒක තියාගන්න බෑ. ඉතින් ඒක තමයි මම හිතන්නෙ තේරුම් ගන්න ඕන දේ කියල මටැ හිතුනෙ.ඉතින් කඩාගෙන යන බව දැන දැන අපි සරු0ගල් හදනවා ඉතින්.
  තව එකක් තමයි මේ සoවේදනා. අවoකව සoවේදනා භුක්ති විඳිනකොට ඒක හරි පිරිසිඳුයි. ඒක හරි ගැඹුරුයි. ඒක හරි උකුයි. ඒක හරි ඝණයි කියලා දැනගැනීම; මානව සම්බන්ධතා වල ඉම කොහෙද කියලා දාර්ශනිකව හිතන්න යොමුවීම; මිනිසුන්, මිනිසුන් මිනිසුන් අතර, මිනිසුන් ගැහනුන් අතර තියෙන මානව සම්බන්ධතා කොයි තරම් ගැඹුරු ද; ඒ නිසා ආදරය මේ ලෝකය පවත්වාගන්නට කොයි තරම් අවශ්‍ය ද; ආදරය නොමැති ලොවක් මොන තරම් විකෘති ලොවක් බවට පත් වෙයි ද; මොන තරම් රුදුරු, කුරිරු, භයානක, වියළි ලොවක් බවට පත් වෙයි ද ආදරය නොතිබුණා නම් ඒ නිසා ආදරයට ආදරය කළ යුතුයි, ජීවිතය පවත්වා ගන්නට නම්.. කියන උපදේශය මට මා තුළ ම පසක් වුනේ මා විඳි ආදරය නිසා මයි.


ආදරේ ගැන නිර්වචනයක් තියෙනව ද?

මo ආදරේට දෙන නිර්වචනය ආදරය ම තමයි. මොකෝ ආදරේ කියන්නෙ මහ පුදුමාකාර, ඒ වගේ ම සoකීර්ණ, මෙහෙමයි කියල විස්තර කරන්න අමාරු දෙයක්. කරුණාව, සෙනෙහස, රාගය, පරිත්‍යාගය, දයාව, ඉවසීම, කැපකිරීම, ලෝබකම.. වගේ එකී මෙකී නොකී සoරචක කියන්න බැරි තරමක් මෙන්න මේ ආදරේ ඇතුළෙ තියෙනවා. ආදරෙයේ තියෙන මේ දේවල් ඉස්මතු කරන්න, ඉස්මතු වෙන්න ඕන සහ සුදුසු අවස්ථාවන් හඳුනාගන්න යම් කෙනෙක්ට තියෙන හැකියාව මත තමයි ඔහුගේ හෝ ඇයගේ ආදරයේ ස්වභාවය තීරණය වෙන්නෙ. ඉතින් අපි කරන්න ඕන මේ අවස්ථා හඳුනාගැනීම හා ඒ සම්බන්ධ කුසලතාවය වර්ධනය කරගන්න එක. ඔය කාරණේට කෙනෙක් ගෙ ඉවසීම, බුද්ධි මට්ටම, සමාජ පරිසරය වගේ කාරණා බලපාන්න පුලුවන්. ඔන්න ඔහොමයි මම ආදරේට දෙන නිර්වචනෙ.

තව එක දෙයක් තියෙනව කියන්න. මගේ මිත්‍රයෙකුගෙ ආදර කතාවක ඉවර නොවූ තැනක් තියෙනව. මීට වසර ගණනාවකට කලින් ඇයට ආදරය කළ ඔහුට ඇය කැමැත්ත පළ කළ දින පටන් අද වන තුරු ඔහුට ඇය හමු වී නෑ. ආදරයේ අරුමය ද ඒ? අපට කියු ලෙසින් ඇගේ නම එහෙමත් නැත්නම් මේ කතා කරන ඔබේ නම "අයිෂ්වරී"...

ඔයා පුටුවකට බර වෙලා, ඇස් කඳුලකට බර කරගෙන, හිත සුසුමකට හිර කරගෙන බලන් ඉන්නව කියලා මම දන්නව. ළඟ ඉන්න කෙනාට නොපෙනෙන්න ඔය කඳුළු කැට පිහිදා ගන්නව කියලත් මම දන්නවා. මට පුලුවන් වුනා ජීවිතේ ආයෙමත් හොයල දෙන්න. ඔබ මo ළඟ නොසිටියත් අද ඔබ සතුටෙන් ඉන්න එක මට ලොකු සතුටක්. ඉතින් ඔබ හොඳින් නම් එය ඔබට කළ ආදරය තරම් ම විශාල සතුටක්..



එහෙමනම් ආයෙමත් දවසක, ආදරණීය හදවතක් එක්ක ආදරෙන් හමුවෙන්න ආයෙමත් එන්නම්. ගිහින් එන්නම්..

ආයෙමත් ආදරෙන්...!






හිරු ටීවී නාළිකාවේ විකාශය වන "ආයෙමත් ආදරෙන්" වැඩසටහනෙහි අනුවර්තනයකි.


3 comments :

Categories