Friday, October 5, 2012

"ද ස්ටෝරි"



     "එකමත් එක දවසක, ලස්සන ම ලස්සන උදේක, ලස්සනම ලස්සනට නිල් අහසෙ ඉරට ටිකක් මෙහාට වෙන්න, ඒත් කිසිම හැඩයක් නැති, ඒත් තනියම තියෙන කොට අමුතු ගතියක් තියෙන, වළාකුළක් පායලා තිබුණා. වළාකුළ සුදට සුදේ එයට සැමදා සුපුරුදු තනිකම හිතේ හොවාගෙන, කිසිම බලාපොරොත්තුවක් නැතිව හිටිය වෙලේ එයාට ඇහුනා කුරුලු පැටියෙක් ලස්සනට සින්දුවක් මුමුණනවා.



"කලුවර රෑ හඳක් වගේ
අහසේ නුඹ ඉන්නව නම්
ආසයි මම නොකී කවිය
නුඹට කියන්න.."


       වළාකුළ මෙහෙම ඇහුවා. "ඔයා කාට ද ඔය කියන්නෙ?" කුරුලු පැටියා කිව්වා, "මගේ පෙම්වතීට." වළාකුළ කිව්ව එයා ගාවට ගිහින් සින්දුව කියන්න කියලා. ඒත් කුරුලු පැටියා කිව්වෙ එයා ඉන්නෙ ලොකු දුරක කියලා. ඒ දෙන්නා කතා කළා ගොඩාක්. දන්නෙ ම නැතුව යාලුකමකට එහා දෙයක් ඒ දෙන්නා අතරට ඇවිත් තිබුණා. වළාකුළ කුරුලු පැටියාගෙන් ඇහුවා ඒ මොකක් ද කියල. දෙන්නා ම එකතු වෙලා ඒ දේට නමක් දැම්මා.


"උදා හිරු එළියේ
අලුත් ඉරක් දෝ මේ.."

"සුවඳ දැනී දැනී දැනෙනවා...."


      වළාකුළ ගාව කුරුලු පැටියා නිතර දෙවේලේ රැඳුනා. වළාකුළ රෑ බලන තැන නෙවෙයි උදේට. එයාව සුළඟ දවසෙන් දවස තැනින් තැනට අරන් යනවා. ඒත් ඒ දෙන්නගෙ බැඳීම සුළඟට බිඳින්න හුඟාක් අමාරු වුණා. ඒත් වළාකුළ වෙනස් වෙන්න පටන් ගත්තා. එයාගෙ හිතට ගොඩාක් බයයි, කුරුලු පැටියා මේ විදියට තැනින් තැනට ඇවිත් අතරමo වෙයි කියල.


      කවමදාකවත් රණ්ඩු වෙන්න හිතලාවත් නොතිබුණු වළාකුළ කිව්වා, "මගෙන් ඈත් වෙන්න. ඔයාගෙ ජීවිතේ අද හෙටම වතුර වෙලා යන වළාකුළකට යට කරන්න එපා. ලස්සන කිරිල්ලියෙක් ඔයා එනකන් ඇති." කියලා. ඒත් කුරුලු පැටියගෙ හිත හොඳට ම රිදුනා. එයා කිව්වා, "පලවෙනියට ඔයා දැක්ක දවසෙ මුමුණපු සින්දුව ඔයාටමයි. මම ඔයාගෙන් ඈත් වෙලා ඉන්නෙ කෝම ද? ඇයි ඔයා මගේ සතුට ගැන නොහිතන්නෙ? අපි ජීවිතේට මුහුණ දෙමු." කියලා. 


      වළාකුළ කතා කළේ නෑ. කුරුලු පැටියා හිතේ ලොකු වේදනාවක් එක්ක ඉන්නෙ. ඒත් වළාකුළ සතුටු වෙන්නෙ කුරුලු පැටියා සතුටෙන් ඉන්නකොට. වළාකුළට කියාගන්න බැරි දුකකින් හිත පිරුනා. එයා ගොඩාක් අසරණයි. කුරුලු පැටියා එයාට ඇහෙන්න සින්දුවක් මුමුණනවා..


"ආවාට නොකියාම ජීවිතෙන්,
නවතින්න හිතුවා ද ආයෙමත් ආදරෙන්.."

දෙවියනේ කොහොම කියන්න ද වළාකුළට දැනුන වේදනාව.. වළාකුළට කෑගහන්න හිතුනා. අනේ මගෙන් යන්න හදන්න එපා. මට ඔයාව ඕන කියලා. ඒත් බැහැ. වළාකුළ ඒ දුක දරාගත්තා. කුරුලු පැටියා ජීවිතේ විඳින්න ඕන. කුරුලු පැටියා රෑ බෝ වෙනකන් වළාකුළ ගාවට වෙලා හිටියා. ඒත් නින්ද ගිහින් ඇහැරෙන කොට වළාකුළ එදාත් ගොඩාක් දුරට පා වෙලා ගිහින් තිබුණා. කුරුලු පැටියා එයාව හොයාගෙන මුලු අහස පුරාම පියාඹන්න ගත්තා. වළාකුළ, ලොකු වැහි වළාවකට මුවා වුණා කුරුලු පැටියට හොයාගන්න බැරි වෙන්න. එයාට දැනුන වේදනාව කොච්චරක් ද දන්නෙ එයා.. කුරුලු පැටියා වළාකුළව හැමතැනම හෙව්වා. බැරිම තැන ආපහු හැරුනා. ඒත් වළාකුළ එයා දිහා බලන් හිටියා. කුරුලු පැටියා ටිකෙන් ටික එයාගෙ ජීවිතේට හොඳින් මුහුණ දුන්නා. තවත් එයාට වළාකුළක අඩුව දැනුනෙ නෑ.


වළාකුළ කුරුලු පැටියාට පේන්න පායලා තිබුනා. හැමදාමත් වළාකුළ කළේ කුරුලු පැටියා දිහා බලන් ඉඳලා සතුටුවෙන එක. ඒත් වළාකුළ නැතුව ඇත්තටම දුකක් කුරුලු පැටියාගේ හිත ඇතුලෙ ඉතුරු වෙලා තිබුණා. ඒත් දැන් වළාකුළ පායලා. කුරුලු පැටියාට සතුටුයි.. ගොඩාක්... කුරුලු පැටියා කිව්වා "අපි ආයෙමත් කලින් වගේ ඉමු" කියලා. වළාකුළ ප්‍රතික්ෂේප කළා එයාව. කලින් කිව්ව දේවල් ම ආයෙම කිව්වා. කුරුලු පැටියා හිතුවෙ එයාගෙ වළාකුළට එයාව තේරුම් ගන්න බෑ කියලා."ඔයාට ඕන දෙයක් කරන්න. ඒත් මම 'ආයෙමත් ආදරෙන්' ආයෙ කියන්නෙ නෑ" එයා එයාගෙ දුක, කේන්තියත් එක්ක එක්කහු කරලා පිට කරා.

වළාකුළ ටිකෙන් ටික අළු පාටට හැරුනා. 'දඩොo!' මහ සද්දෙට අකුණක් කෙටුවා. අනේ! කුරුලු පැටියා ඉස්සරහ අර ලස්සනට පායලා තිබුන වළාකුළ දිය වෙවී, මහ .........."


"මේ ස්නේහ බන්ධනයෙන්
මේ ස්නේහ නිද්‍රාවෙන්
හුදකලා සමුගැනීමයි
අනවසර සමුගැනීමයි
මේ මහා සමුගැනීමයි..."

-ලිව්වේ අයිෂ්වරී





8 comments :

Categories