Tuesday, October 9, 2012

"අන්ටයිට්ල්ඩ්/Untitled"



    මට මාව නැති උනේ, ඔයාව නැති වෙන්න ගොඩාක් කාලෙකට කලින්. කාත් කව්රුත් නැතිව, අරමුණක්, බලාපොරොත්තුවක් නැතුව ඔහේ පාවෙලා පාවෙලා ගියපු මගේ ජීවිතේට මහ මෙරක් උසට බලාපොරොත්තු දීලා මට "මම ජීවත් වෙනවා" කියලා දැනෙන්න ඉඩක් දුන්නෙ ඔයාගෙ ආදරේ. ඔයාට මතකයි ද අර එදා අපි ඉර බහින දිහාව බලන් ඉඳලා ඔයාට විතරක් ඇහෙන්න කියපු කවිය?

"එක ගිම්හානෙක
රතු පසුතලයක
තෙල් සායම් රුවක් මත
මo දිය කළා මගේ හිත

සැඩ හිරුට යටින්
රතු පොළොව මතින්
දියවී ගල් උනා සිතුවිලි
අලු පාටට..."

    මට ඒක නිකන් ම නිකන් ඒ වෙලේ හිතට ආපු වචන පෙළක් උනාට එදා ඒ වචන අතරින් රිoගලා ගිහින් ඔයා මාව තේරුම් ගත්තා. ඔයා පස්සෙ දවසක මට කියපු විදියට කලු ම කලු හතරැස් ලෝකෙක, අඳුරු මුල්ලකට වෙලා තට්ට තනියම, පාලුවෙන් හිරිවැටුණ ආත්මයක් ඒ වචන අතරින් ඔයාට පෙනුනා. ඔයා තරම් හොඳට මාව කියවන්න මටවත් බැරි උනා. මගේ හැමදේම ඔයා උනා. ඉර පෙන්නලා හඳ කියන්නෙ නැතුව ඉර, ඉර විදියට ම දකින්න පුලුවන් හය්යක් ආපු ඒ දවස ඔයාට මතක ද පෙම්බරී?

"අහසේ දිලිසෙන තරු කැට යාකර
අඳිනෙමි ඔබෙ රුව රෑ කලුවර මත
සිහිනය දිදුලයි ඔබෙ හසරැලි මත
ගොඩවෙමි සිහිනෙට දිවිමග තරණට"


    ඒ වචන මo තනි නෑ කියලා මට දැනෙන්න ඉඩ දුන්නා. ලෝකයක් ඉස්සරහ හිනාවට ලක් උන මම ජීවිතේ පළවෙනි පාරට හිනා වුනා. ජීවිතේ හැමදෙයක් ම හරි ඉක්මණට වෙනස් වෙනවා. එක දවසක් මගේ පපුවට තුරුළු වෙලා ඔයා කෙඳිරුවා. ඔයා කිව්ව වගේ ම ඒ දේවල් එහෙමම උනා. කලු ගැහිලා තිබ්බ මගේ තොල් වලට ඔයා ආපහු රෝස පාට දුන්නා. මගේ ඇස් රතුවෙනව ද කියලා ඔයා ඇස් වලට එබිලා බලන් හිටියා. මගේ ඇතුලෙ හිටපු සිත්තරාට ඔක්සිජන් දීලා එළියට ගත්තෙ ඔයා. ඒ විතරක් ද කොච්චරක් නම් දේවල් වෙනස් උනා ද? අහ්? ඔයාට මතකයි ද පෙම්බරී?

   අපි තරු පිරිච්ච අහස දිහා බලන් හිටියා. එක එක තරු යා කරලා ලස්සන ම ලස්සන හීන කන්දරාවක් අපි මවාගත්තා. හඳ එළියෙ නිරුවතින් නැටුවා. අපේ ඇස් වලට එබී ගෙන බලන් හිටියා. අපේ ඇස් වලින් අපේ හිත් වල තිබ්බ හැමදෙයක් ම අපි දැක්කා. ආදරේ, ලෝබකම, ආශාව, හීන, බලාපොරොත්තු.. එහෙමයි ඒ පෙනුන දේවල් වලට අපි අර්ථකථනයක් දුන්නෙ. 

   ඔයාට මතක ද අපි අර එදා අපි කියෙව්ව පොත? "මරණයයි, රමණයයි වෙන්වෙන්නෙ හීනි රේඛාවකින්." ඔයා ඒක ටිකක් හෙමින් කියවලා ඇස් දෙකේ කඳුලු පුරවන් මගේ පපුවට තුරුලු උනා. ඒ ඇයි කියලා ඔයා අද වෙනකන් මට කියලා නෑ. ඒ පොතේ තිබ්බ "ඔබ මා උන, මා ඔබ උන මොහොත" කියන වචන පේළිය ඔයාට වගේම මටත් ගොඩාක් තදින් දැනුනා. ඒත් කල්පයක් කියන්නෙ තත්පරෙන් බිඳක් කියලා කවි ලියවෙන මේ ලෝකෙ අපිටත් නොදැනිම අර "ඔබ මා උන, මා ඔබ උන මොහොත" ගෙවිලා ගියා. 

 "ජීවිතේ හැමදෙයක් ම ගොඩාක් ඉක්මණට වෙනස් වෙනවා." මo මේ කියන දේවල් ඔයාට ඇහෙනව නේ ද පෙම්බර්‍රි? තරු තියෙන්නෙ එච්චර ඈතින් නෙවෙයි නේ ද? පුන්චි ම පුන්චි තරු අපි දිහා බලන් ඉඳන් හෙමීට මුමුණන්නෙ "මේ ලෝකෙ කව් රුත් තනි නෑ" කියලා, ඔයාමයි නෙ මට කියල දුන්නෙ. එදා මට ඒක තේරුණේ නෑ. ඒත් අද තේරෙනවා..

  

2 comments :

Categories