Friday, March 22, 2013

"උඹෙ ලස්සන අත්තටු දෙක, මට දෙනව ද රුපියලකට..?"


"සමනලයෝ මොකද හොරෝ
උඹ ආවේ මගෙ වත්තට.."

පොඩි කාලේ සුදු ආචිචිගෙ උකුලෙ ඉඳන් තඩියත් තුරුලු කරන් ඇස් පියවෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඇහුන මේ කවිය අවුරුදු ගානකට පස්සෙ මෙන්න මේ විදියට බ්ලොග් පිටුවක ලියවෙයි කියල මම තියා අපේ තඩියා වත් හිතන්න නැතුව ඇති.. හහ් හහ්! කාලේ අපිටත් නොදැනී හොර තඩියෙක් වගේ රිoග රිoග යන හැටියක් මo අහන්නෙ. අයිෂ්වරී හිටයා නම් "කාලයේ දෛශික ස්වභාවය" කියල හෙන පත දේශනයක් දෙයි. අනේ ඇත්තට අයිෂ්වරීත් අතීත ප්‍රවාහයට එකතු වෙලා කාලය දිගේම පල්ලෙහාට ගලාගෙන ගියිපු මතකයක් උනා නෙ. එහෙම තමයි ජීවිතේ හැදෙන්නෙ. අපි කිසිම කෙනෙකුට බෑ නෙ ඒව වෙනස් කරන්න.

   හොව් හොව් ඔයින් මෙයින් මo මේ කියන්න යන සමනලයැයි කතාවෙන් පීලිපැන්නා නෙ.


    මෙන්න බොලේ එක දවසක් උදේ මo නැගිටලා කාමරේ ජනේලෙ ඇරිය විතරයි ලස්සන ම ලස්සන සුදු ම සුදු පාට ලිලී මල්  කුමාරියෙක් පිපිලා ලැජ්ජාවෙන් වගේ බිම බලන් ඉන්නව. එයාගෙ මල් පෙති උඩ මුතු කැට වගේ පිනි බින්දු විසිරිලා. කියන්න බැරි තරම් ලස්සනයි. මට එක පාරටම මතක් උනේ "වර්ඩ්ස්වර්ත්" "ඩැෆඩිල් මල්" දැකපු හැටි. ඩැෆඩිල් මල් දැක්කට ලන්කාවෙ ඉපදිලා, හැදිල වැඩුනු අපිට රොමාන්තික හැඟීම් පහල වෙන්න බෑයි කියල එක පාරක් "දීපා සo" තර්ක කරපු හැටිත් ඒත් එක්ක ම මතක් උනා. ඒකට ඒ වෙලාවෙ දෙන්න ගැලපෙන උත්තරයක් මටත් ඒ වෙලාවෙ කල්පනා උනේ නෑ නෙ. ඔන්න මම ඉතින් "ලිලී"ට පේන්න පොඩි හිනාවක් දැම්මා. මොන, එයා තාමත් බිම බලාගෙනම්යි. අනේ, කම්මුල් රතු වෙච්ච චූටි නoගි වගේ. :ඩී

    මට ඒ වෙලේම හිතුනා ලිලීව කඩාගෙන ගෙනැල්ලා වාස් එකක දාල මගේ කාමරේ තියාගන්න. ඒත් ඒ වෙලේ ම, "පුතේ,ජපානේ මිනිස්සු මල් කඩන්නෙ නෑ. මල් බලලයි මේ මිනිස්සු සතුටු වෙන්නෙ. බලන්න කොච්චර වෙනස් ද ලoකාවත් එක්ක. සකුරා මල් බලන එක මේ මිනිස්සුන්ට උත්සවයක්. ඒ උත්සවේට කියන්නෙ "හනමි" කියල." තෝකියෝවෙ "Ueno පාර්ක්" එකේ දි තාත්තා මට කියල දීපු හැටි මතක් උනා. අර වගේ මෝඩ තකතීරු අදහසක් ආපු එකට මම මටම් දොස් කියාගත්තා. කොහොමින් කොහොම හරි හැමදාම උදේට ඇහැරුන ගමන් ම ලිලීට "සුබ උදෑසනක්!" පතලා, සෑහෙන්න වෙලාවක් එයත් එක්ක කතා කර කර, එයාගෙ ලස්සන විඳින එක මගේ පුරුද්දක් උනා. මo කොච්චර කතා කරත් එය උත්තර දුන්නෙ එක එක ලෝකෙ ලස්සනම හඬ කියල මිනිස්සු කියන නිහැඬියාවෙන් විතරයි. ඒත් එයාගේ නිහඬකම මට ලොකු හයියක් උනා.




"මා දොඩමලු වී සිනහ සලන ලොව
හැමදාමත් ළඟ ඔබ නිහඬයි
මම නොකියූවත් මට පෙර වදන් ගෙනෙන්නේ
නිහඬව නොසැලෙන නුඹෙ හිතමයි.."


කියල ප්‍රදීපා ධර්මදාස කියන්නෙ මෙන්න මේ කතාව තමයි කියල මo තේරුම් ගත්තා.

ඔන්න ඔහොම මේ කතාව ගලාගෙන යන අතරෙ අර මo ඉස්සෙල්ලා කියපු කාලය කියන ප්‍රවාහෙ එකෝමත් එක දවසක් අපේ කතාවෙ මැද්දට පැනලා ඒකෙ "අනවරත හැසිරීම" වෙනස් කරා. ඒක ඉතින් ඕන ම කතාවක වෙන දේ නෙ. ඉන්නකෝ කියන්න.

ඔන්න එදාත් මන් හැමදාම වගේ උදේ ඇහැරුන ගමන් ලිලීට "සුබ උදෑසනක්" කියන්න ජනේලෙ ලඟට ගියා. හැමදාමත් මo අපි දෙන්නව වෙන් කරපු ජනෙල් කූරු අතරින් ම එයා දිහා බැලුවා. එයා හැමදාම වගේ කිසිම වෙනසක් නැතුව ලැජ්ජාවෙන් බිම බලාගෙන හිටියා. ඒත් දුඹුරු පාට සමනලයෙක් එයා වටේ කැරකි කැරකි හිටියා. මිනිහා ලිලීත් එක්ක මොනවදෝ රහසෙන් රහසෙන් කොඳුරනව. එහාට මෙහාට පියාඹනවා. එක සෙල්ලමයි. මට මාර තරහක් ආව. ඇයි වදේ හැමදාම මාත් එක්ක හිටපු ලිලී කොහෙවත් යන සමනලයෙක් එක්ක කොමල කරනව දැක්කාම තරහ යන්නෙ නැතුව තියේවිය?


මo ජනෙල් පොලු හයියෙන් අල්ලගෙන,

 "සමනලයෝ මොකද හොරෝ
 උඹ ආවෙ මගෙ වත්තට?"

කියල කෑගහල ඇහුවා. 

   ඒ පාර ඌට ලජ්ජ හිතිලද කොහෙද පස්සවත් බලන්නෙ නැතුව ඈතට පියාඹලා ගියා. මට ලිලී එක්කත් හොඳටම තරහයි. මo දඩෝස් ගාල ජනෙලෙත් හයියෙන් වැහුවා. එදා දවසෙම කිසිම වැඩක් හරියට කරගන්න මට බැරි උනා. කල්පනා කරපු එක තමයි කරපු එක ම එක දේ. රොබර්ට් ෆ්‍රස්ට් ට "මයිනර් බර්ඩ්" ව එලෙව්වට පස්සෙත් දැනුනෙත් මෙහෙම ද කියලා මo හිතුවා. මට මo මහ පව් කාරයෙක් කියලා හිතුනා. එක අතකට ලිලී කව්ද, මo කව්ද? ලස්සනම ලස්සන මල් කුමාරියෙක් අයිතිවිසේකාර සමනලයෙක්ට මිසක් මo වගේ නාකියෙකුට නෙවෙයි නෙ. ශිකේ ෂික් ඒ වෙලේ මට මේ කිසිම දෙයක් තේරුනේ නෑ නෙ. මo එක්දාස් එක් වෙනි පාරටත් මැරිලා ඉපදුනා. ඒත් අර පව්කාර හැඟීම අයින් උනේ නෑ..

   ඊට පස්සෙ දවසෙ මo ලිලීව බලන්න ජනේලෙ ඇරියෙ සමාව ගන්න හිතාගෙන එයගෙන්. ඒත් එයා වෙනද වගේ ලස්සනට පිපිල හිටියෙ නෑ. එය හොඳටම මැලවිලා. දැක්ක ගමන් මගේ පපුව හෝස් ගාල පිච්චිලා ගියා. මo මොන දේ කරත්, කිව්වත් එයා වෙනදා වගේ ලස්සනට හිනා උනේ නෑ. මo හිතාගත්තා කොහොම හරි සමනලයාව හොයන් ඇවිත් ආයෙම ලිලීගෙ හිනාව ගේනව කියල. 

  ඔන්න ඉතින් ම සමනලයව හොයාගෙන යන්න පිටත් උනා. යනව යනවා යනවා යනවා.. හම්බවුන සමනයෙක් නෑ. කඳු, තැනිතලා, මූදු, කාන්තාර පහු කරන් කොහොමින් කොහොම හරි රටවල් සීයක් පහු කරලා එක සිය එක් වෙනි රටටත් මo ආව. ඒත් සමනලයා නෑ. ඒත් මo උත්සාහෙ අත් හැරියෙ නෑ. කොහොම හරි අන්තිමේ සිතිජෙට අඟලක් මෙහයින් තිබ්බ ගලක් උඩ වාඩි වෙලා ඉර බහින දිහාව බලන් හිටපු සමනලයා මට හම්බ උනා. සන්තෝසෙට උඩ පැන්න පාර තව පොඩ්ඩෙන් මo ලෝකෙ ගැට්ටෙන් එහා පැත්තෙ. :ඩී  එයාගෙන් සමාව අරගෙන ආයෙම ලිලී ළඟට එක්කන් ආව. :ඩී :ඩී 
  
     ඔයාල දන්නව ද..? තාමත් මo උදේ ඇහැරුන ගමන් ම ජනේලෙ ලඟට ගිහින් ලස්සන බලනවා. ලිලීගෙයි, සමනලයගෙයි ලස්සන ලෝකෙ දිහා බලලා මo ලොකු සතුටක් විඳිනවා. :ඩී වෙලාවකට පොඩි දුකකුත් දැනෙන්නෙ නෑ ම නෙවෙයි. ඒ වෙලාවට මට සමනලගෙන් මෙහෙම අහන්න හිතෙනවා..


 "උඹෙ ලස්සන අත්තටු දෙක
මට දෙනව ද රුපියලකට..?"

ඒත් මo එහෙම අහන්නේ නෑ... :)

4 comments :

Categories