Monday, September 9, 2013

"මල් ලස්සනයි, සුවඳයි."



අමර දැන් ඔයා කොහෙද ඉන්නේ?
මම නුඹේ ආදර සාමා
වැලි කෙළියේ සාමා
මම නුඹේ සාමා.. 

සිහින ලොවක් හදලා 
මුර සෙබලුන් ළඟ තියලා
මා රැජිණිය කරලා
යන්න ගියා නුඹ නොකියා
මම නුඹේ සාමා..

සල් ගහ වැස්සට තෙමිලා
කොළ සේරම බිම වැටිලා
හෝඩි පොතේ පුතුගේ
ඇහිඳිමි මල් තනි වෙලා
මම නුඹේ සාමා.. 

සාමා, අමර. මේ දෙන්නාව ඔයාට මතකයි ද? අමතක වෙන්නෙ කොහොමද නේ ද? :) අපි ඉස් ඉස්සෙල්ලාම අලුත් ම අලුත් සුදු ම සුදු ඇඳුමක් ඇඳගෙන අම්මගෙ තාත්තගෙ අතේ එල්ලිලා ජීවිත ගමනෙ පෙරලන මුල් ම පිටුවෙ ඉන්න මේ දෙන්නාව කොහොම අමතක කරන්න ද නේද..

                         "අමර එන්න සල් ගහ යටට"


     කපු රෙද්දකින් මහපු කොට කලිසමකුයි, කමිසෙකුයි ඇඳලා, කොණ්ඩෙ පැත්තට බෙදපු අමරයි, හිනා වෙනකොට කම්මුල් ලස්සනට වළ ගැහෙන රවුම් මූණක් තියෙන සාමා වයි දැකලා ඒ දෙන්නගෙ රූප දිහා බලාගෙන අපි මොනව හිතන්න ඇත්ද..? :) මේ ඉන්නෙ නම් මම මයි කියලා මේක කියවන සාමාලා, අමරලා කී දෙනෙක්ට දැනෙන්න ඇත් ද? අපි හැමෝම අපේ ගමන පටන් ගත්තෙ ඒ දෙන්නාගෙන්. අපිට වචන කියවන්න උගන්නපු සාමායි, අමරයි අපිට කියල දීපු ඒ පාඩම නේ ද අපිව මේ තරම් දුර අරන් ආවෙ? ඒ දෙන්නා එතන නොහිටියා නම්, සාමා අමරට සල් ගහ යටට කතා කරේ නැත්නම් අපි කොහොමද ඇළපිල්ල ඉගෙන ගන්නෙ? සාමා ලස්සනට හිනා වෙලා එයගෙ වල ගැහෙන කම්මුල් පෙන්නුවෙ නැත්නම් අපි කොහොමද දෙවෙනි පිටුව පෙරලන්න හිතට ආපු ආශාව ගෙන්න ගන්නෙ? සල් ගස් වල මල් පිපිලා තිබ්බෙ නැත්නම් අපි කොහොමද "මල් ලස්සනයි, සුවඳයි. අපිත් ඒ වගේ වෙන්න ඕන" කියලා ඉගෙන ගන්නෙ..? ඇත්තටම පොඩ්ඩක් හිතන්න අපිට මොන තරම් නම් දේවල් ඒ දෙන්න කියල දීලා තියෙනව ද වචනයක් වත් කතා නොකර?



     සාමා අමර දෙන්නව පහු කරගෙන අපි ගොඩක් දුර ඇවිත් අද වෙනකොට. ඒ දෙන්නගෙ උඩට අපි මහ බරපතල දේවල් වලින් පිරුනු පිටු කන්දක් පෙරලලා පෙරලලා අපි හැමෝම කියපු විදියට අපේ හිත් වල ඇඳුනු ජීවිතයක් හොයාගෙන, අවකලනය, අනුකලනය, සාහිත්‍ය, දර්ශනය, ගිණුම්කරනය වගේ මහා ලොකු දේවල් තුරුල් කරගෙන ඉස්සරහටම ආවා. අදත්, මේ දැනුත් අපි කරන්නෙ ඒකමයි. හැම දෙයක් ම පෙරලගෙන, හැම දෙයක් ම පහු කරගෙන ඉස්සරහට දුවන එක. එහෙම දිව්වෙ නැත්නම් අනිත් අය අපිව පාගගෙන දුවයි කියලා අපිට බයයි.

 පොඩ්ඩක් හැරිලා බලන්න සාමා-අමර දෙන්නා තාමත් ඉන්න ලස්සන..? දැන් පොඩ්ඩක් හිතන්න ඔයාට තව කී දෙනෙක්, අමතක වෙලාද කියලා.. නැත්නම් ඔයා අමතක කරලා ද කියලා.. නවතින්නෙ නැතුව ඔය දුවන ගමන් ම බලන්නකෝ..

  බය වෙන්න එපා. මම මේක ලියන්න පටන් ගත්ත විදියට "අමරට සාමා ව අමතක වෙලා නෑ". එක නදීක ගුරුගේ ගෙ කල්පිතයක් විතරයි. අපිටයි අපිව අමතක වෙලා තියෙන්නෙ.


"සිහින ලොවක් හදලා 
මුර සෙබලුන් ළඟ තියලා
මා රැජිණිය කරලා
යන්න ගියා නුඹ නොකියා" 

මෙහෙම යන්න ගියේ අපේ සතුට, සැහැල්ලුව මිසක් අමර නෙවෙයි නේ ද? එදා හිටපු ඔයයි, අද ඉන්න ඔයයි අතරෙ කොච්චර නම් දුරක් තියෙනවද?







දැන් ඔයා එක ම එක මොහොතකට අමර වෙන්න. ඔයා සාමා වෙන්නකෝ. දැන් මතක් කරගන්න පලවෙනි පිටුව. ඔව් අපි හැමෝම පටන් ගත්ත තැන. ඔයා දැන් ඉන්නෙ සල් ගහ යට. ආයෙම සැරයක් කියන්න. "මල් ලස්සනයි, සුවඳයි."

0 comments :

Categories